අධිවේගී මාර්ගයේ ආසන පටි නීතිය සැප්තැම්බර් 19 සිට දැඩිව ක්‍රියාත්මකයි

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය සැප්තැම්බර් 19 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල ඉදිරිපස ආසනවල මෙන්ම පසුපස ආසනවල ගමන් කරන මගීන්ද අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීම අවස්ථා කිහිපයකදී කල් දමා ඇති බවත්, වාහන හිමියන්ට තම වාහනවල ආසන පටි සවිකර ගැනීමට හෝ අලුත්වැඩියා කර ගැනීමට අවස්ථා කිහිපයකදී සහන කාල ලබාදී ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, සැප්තැම්බර් 19 වැනිදා සිට මෙම නීතිය කිසිදු ලිහිල් කිරීමකින් තොරව දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

එම දිනයෙන් පසුව තවදුරටත් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *