බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කළ අතුරුදන්ව සිටි නිර්වින්දන වෛද්‍යවරයාගේ සිරුර සෝදිසි මෙහෙයුමක් අතරතුර ඊයේ උදෑසන සොයාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ මාපාකඩ ප්‍රදේශයේ 17 වැනි සැතපුම් කණුව ආසන්නයේ වියානා ඇළ අසල අතහැර දමා තිබූ මෝටර් රථයක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
පසුගිය 23 වැනිදා රාත්‍රියේ සිට එම ස්ථානයේ නවතා තිබූ මෝටර් රථය අතුරුදන්ව සිටි වෛද්‍යවරයාට අයත් බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෝටර් රථය ආසන්නයේ පිහිටි වනාන්තර ප්‍රදේශයක තිබී වෛද්‍යවරයාගේ සිරුර සොයාගෙන ඇත.
සිරුර ආසන්නයේ තිබී ඖෂධ පැකට්ටුවක්ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
වෛද්‍යවරයාගේ මරණයට හේතුව සහ මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් මහියංගණය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.



