අඛණ්ඩව ප්‍රහාර දියත් කරන බව ඊශ්‍රායලය පවසයි

ගාසා තීරයේ දැඩි මානුෂීය අර්බුදයක් නිර්මාණයවී ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් ප්‍රධානී මාටින් ග්‍රිෆිත් පවසයි.

ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල හමුදා ප්‍රහාර 76 වැනි දිනටත් ගාසා තීරයේ ක්‍රියාත්මකවෙමින් ඇති පසුබිමකය.

ඉන් මියගොස් ඇති පලස්තීනුවන් සංඛ්‍යාව 20,000 ඉක්මවූ බව ගාසා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් හමාස් නායකයන් ඉලක්ක කරගනිමින් සිය ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායලය පවසයි.

මේ අතර ගාසා නගරයේදී නිරායුධ පලස්තීනුවන් 11දෙනෙකු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉදිරියේ ඊශ්‍රායල හමුදාව විසින් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් පිළිබඳව ජගත් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුවී තිබේ.

එමෙන්ම පලස්තීන සරණාගතයින් පිළිබඳ ජගත් සංවිධාන නියෝජිතායතනය සඳහන් කළේ ආහාර, ජලය සහ ඖෂධ නොමැතිව ගාසා තීරයේ ජනතාව සාගින්නට ලක්කිරීම ඔවුන් යුද්ධයේ අවියක් ලෙස යොදාගැනීමකට සමාන බවය.

මේ අතර, ගාසා තීරයේ මානුෂීය ආධාර මෙහෙයුම් පුළුල් කිරීම සඳහා සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හමුවේ ජන්ද විමසීමකට ලක්කිරීමට නියමිතව ඇත.

එහිදී ජාත්‍යන්තරයේ මතයට පිටුපා අමෙරිකා එක්සත් ජනපදය නැවතත් නිෂේධ බලය යොදාගනු ඇති බවට සියල්ලන් අවධානයෙන් පසුවෙයි.

ගාසා තීරයේ මෙහෙයුම්වලදී සිවිල් වැසියන්ට සිදුවන හානිය අවමකරන ලෙස තමන් ඊශ්‍රායලයට උපදෙස් දුන් බව අමෙරිකාව පැවසුවත් ඔවුන් එය ප්‍රායෝගික වශයෙන් ක්‍රියාවට නැංවීම සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බව පැහැදිලි වෙයි.

ගාසා තීරයේ සටන් නැවතුමක් සහ ප්‍රාණ ඇපකරු හුවමාරුවක් පිළිබඳ සියලු පාර්ශ්වයන්ගේ අවධානය යොමුවුණත්, ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ එවැනි එකඟතාවක් කඩිනමින් අපේක්ෂා කළ නොහැකි බවය.

හමාස් සංවිධානය විසින් තවදුරටත් රඳවාගෙන සිටින සියයකට අධික ප්‍රාණ ඇපකරුවන් කඩිනමින් මුදාගැනීම සඳහා ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට බලවත් පීඩනයක් එල්ලවන අතර ඒ සම්බන්ධයෙන් මොසාඩ් ඔත්තු සේවා ප්‍රධානියා කටාරය සමග සාකච්ඡාවල නිරත වී තිබේ.

විශේෂයෙන් ඊශ්‍රායල හමුදා අතින් වැරදීමකින් ප්‍රාණ ඇපකරුවන් 03දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය ද ඊශ්‍රායලය තුළ ආන්දෝලනයක් ඇතිකර තිබේ.

සටන් විරාමයක් පිළිබඳව හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ නායකයන් ඊජිප්තුවට ගොස් සාකච්ඡාවල නිරත වු අතර, ඊජිප්තු බලධාරීන් ප්‍රකාශ කළේ ප්‍රාණ ඇපකරුවන් 40 දෙනෙකු මුදාගැනීම සඳහා සතියක සටන් නැවැත්වීමකට ඊශ්‍රායල පාර්ශ්වයෙන් කැමැත්ත පළවී ඇති බවය.

එහිදී ප්‍රාණ ඇපකරුවන් ලෙස තවදුරටත් රඳවාගෙන සිටින කාන්තාවන් සහ ළමුන් සියලුදෙනා නිදහස් කර ගැනීමට ඊශ්‍රායලය අපේක්ෂා කරන බව ඊජිප්තු බලධාරීන් කියා සිටියේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වල එකඟතාවක් මෙතෙක් ප්‍රකාශයට පත්වී නැත.

ගාසා තීරයේ යුද්ධය දැන් ලොව අතිශය වැදගත් නෞකා මාර්ගයක් වැටී ඇති රතු මුහුදේ නෞකා ගමනාගමනයට තර්ජනයක්වී තිබේ.

යේමනයේ හූති කැරලිකරුවන් ඉරානයේ සහාය ලැබෙන බවට අමෙරිකාව චෝදනා කළත්, ඒ හේතුව නිසා ඉරානය සමග සබඳතා නැවතත් බිඳදැමීමට සෞදි අරාබිය සුදානම් නොමැති බව වාර්තා වේ.

මේ අතර යේමනයේ හූති කැරලිකරුවන් 20,000ක් පමණ පලස්තීන සහ යේමන ධජ අතැතිව සන්නද්ධ පෙළපාලියක නිරතවූ බව වාර්තා වෙයි.

ඔවුන් එලෙස සිය බලය පෙන්වීමට පෙළඹී සිටින්නේ රතු මුහුදේ ආරක්ෂාව උදෙසා අමෙරිකාවේ ප්‍රමුඛත්වයෙන් ජාත්‍යන්තර නෞකා ආරක්ෂක බලකායක් පිහිටුවීමට කටයුතු කර ඇති අවස්ථාවකදීය.

ගාසා තීරයේ සටන්වලදී මියගිය සිය සෙබළුන් සංඛ්‍යාව 134 දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් 740 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඊශ්‍රායල හමුදාව පවසයි.

ඊශ්‍රායල ප්‍රහාර උතුරේ ජබාලියා සරණාගත කඳවුර සහ දකුණේ රෆා නගරය ඉලක්ක කරගෙන තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඛාන් යුනිස් නගරය කේන්ද්‍ර කොටගෙන ගොඩබිම් සටන් තවදුරටත් සිදු වේ.

උතුරු ගාසා තීරයේ මෙහෙයුම්වලදී ඉවත්කර ගැනුණු පලස්තීනුවන් 141,000ක් පමණ ඛාන් යුනිස් නගරයේ රැකවරණය ලබමින් සිටි අතර ඔවුන්ට නැවතත් වෙනත් ස්ථාන වෙත පිටමං කිරීම වටහාගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකාරක කාර්යාලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *