කාන්තාවන්, තරුණයන් සහ ළමුන් රැකියාගත කිරීම සම්බන්ධ නීතිය සංශෝධනය කරමින් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට කථානායක ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය ලබා දී තිබේ.
ඒ අනුව සංශෝධිත නීතිය 2026 අංක 21 දරන කාන්තාවන්, තරුණයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වී ඇත.
කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, කථානායකවරයා ඊට සහතිකය ලබා දී ඇත්තේ අඟහරුවාදා (8) දිනයේදීය.
1956 අංක 47 දරන කාන්තාවන්, තරුණයන් සහ ළමුන් සේවයේ යෙදවීමේ පනත යටතේ සිදුකරන වැරදි සඳහා මෙතෙක් පනවා තිබූ රුපියල් 10,000ක උපරිම දඩය සංශෝධනය මගින් රුපියල් 100,000ක් දක්වා ඉහළ නංවා තිබේ.
වයස අවුරුදු 16ට අඩු ළමුන් රැකියා සඳහා යොදා ගැනීම මෙම නීතිය මගින් තහනම් කර ඇත.
වර්තමාන සමාජ හා ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන පරිදි නීතිය යටතේ වැරදි සඳහා පනවන දඬුවම් හා දඩ මුදල් යාවත්කාලීන කිරීමේ අරමුණින් මෙම සංශෝධනය හඳුන්වා දී තිබේ.
ළමා ශ්‍රමය වැළැක්වීම සඳහා පවතින නීතිමය ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම රැකියා ක්ෂේත්‍රයේ කාන්තාවන්, තරුණයන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙම සංශෝධිත නීතියේ ප්‍රධාන අරමුණක් වේ.


