කෙන්යාවේ හෙල ඉන්ටිමේට්ස් EPZ ලිමිටඩ් සමාගමේ සේවකයන් 3,000කට වැඩි පිරිසක් මුහුණ දෙන වැටුප් ප්‍රමාදවීම්, අනිවාර්ය දායක මුදල් නොගෙවීම සහ සේවා අවසන් ප්රතිලාභ නොලැබීම සම්බන්ධයෙන් සෙනෙට් පරීක්ෂණයක් පවත්වන ලෙස නයිරෝබි සෙනෙට් සභික එඩ්වින් සිෆුනා ඉල්ලා තිබේ.
මෙම සමාගම ශ්‍රී ලංකාව පදනම් කරගත් හෙල ඇඟලුම් සමූහයට අයත් වන අතර, එම සමූහයේ මව් සමාගම වන හෙල ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී මේ වනවිට දැඩි මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙමින් ඈවර කිරීමේ ක්‍රියාවලියකට යොමුවෙමින් සිටී.
කෙන්යානු සෙනෙට් සභාවේදී අදහස් දක්වමින් සිෆුනා, කම්කරු හා සමාජ සුබසාධන පිළිබඳ ස්ථාවර කමිටුවෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියේය. හෙල ඉන්ටිමේට්ස් EPZ ලිමිටඩ් සමාගමේ සේවකයන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ඔහු සඳහන් කළේ මාස කිහිපයක් තිස්සේ වැටුප් ප්‍රමාද වී ඇති අතර, ජාතික සමාජ ආරක්ෂණ අරමුදල, උසස් අධ්‍යාපන ණය මණ්ඩලය සහ ඉතුරුම් හා ණය සමූපකාර සමිති වෙත සේවකයන්ගෙන් අයකරගත් අනිවාර්ය දායක මුදල්ද සමාගම විසින් ගෙවා නොමැති බවට චෝදනා එල්ල වී ඇති බවයි.
එමෙන්ම සේවකයන්ට හිමි සේවා අවසන් දීමනා සහ අනෙකුත් ප්රතිලාභ නොගෙවීම මෙන්ම සැපයුම්කරුවන්ට ගෙවිය යුතු විශාල මුදල් ප්‍රමාණයක්ද මෙතෙක් පියවා නොමැති බවට සෙනෙට් සභිකවරයා අවධානය යොමු කළේය.
වැටුප් හිඟ මුදල්, අනිවාර්ය දායක මුදල්, සේවා අවසන් දීමනා සහ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා, මෙම වගකීම් ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද සොයා බලන ලෙස ඔහු කමිටුවෙන් ඉල්ලා සිටියේය.
ආයෝජකයන් සිය මෙහෙයුම් නතර කර හෝ රටින් ඉවත්ව යන අවස්ථාවක වැටුප්, අනිවාර්ය දායක මුදල්, සේවා අවසන් ප්රතිලාභ සහ අනෙකුත් නීත්‍යානුකූල ණය නොගෙවා හැර යාමෙන් සේවකයන් සහ සැපයුම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා පවතින නීතිමය හා නියාමන ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳවද තොරතුරු ලබාදෙන ලෙස සිෆුනා ඉල්ලා තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ හෙල ඇපරල් හෝල්ඩින්ග්ස් පීඑල්සී දැඩි මූල්‍ය දුෂ්කරතා හමුවේ ඈවර කිරීමේ ක්‍රියාවලියකට යොමුවීමට පසුගියදා පියවර ගත්තේය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසා ඇත්තේ හෙල ක්ලෝතිං සහ ෆවුන්ඩේෂන් ගාමන්ට්ස් සමාගම්වලට අයත්ව සිටි සේවකයන් 3,674 දෙනෙකු හෙල ඇපරල් හෝල්ඩින්ග්ස් සම්බන්ධ මෑත සිදුවීම්වලට පෙර සිදුකළ ප්‍රතිව්‍යුහගත කිරීමක් යටතේ එමරල්ඩ් ක්ලෝතිං සමාගමට අන්තර්ග්‍රහණය කර ඇති බවයි.


