හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට බයිපාස් සැත්කමක් අවශ්ය බව අද (16) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ වෛද්ය වාර්තාවකින් අනාවරණය වී තිබේ.
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහි නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම වෛද්ය වාර්තාව ඉදිරිපත් කර ඇත.
වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණයේදී සඳහන් කර ඇත්තේ, එහි ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර, බයිපාස් සැත්කමක අවශ්යතාව ද සඳහන් කර ඇති බවයි.
කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාගේ ආවරණ ලිපියක් ද සමඟ මෙම වෛද්ය වාර්තාව ඉදිරිපත් කර ඇති බව මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, වෛද්ය වාර්තාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ‘සිරිලිය සවිය’ සංවිධානයට ලබාදී තිබූ රුපියල් මිලියන 10ක මුදලක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.


