‘හිමිකම’ සින්නක්කර ඔප්පු ජාතික වැඩසටහන ජනපති අතින් ඇරඹේ.

හිමකම සින්නක්කර හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද අනුරාධපුරයේදී පැවැත්වේ.

බලපත්‍ර යටතේ වෙන් කර ඇති ඉඩම් සංවර්ධනය කර ප්‍රයෝජනයට ගනිමින් සිටින මහජනතාවට, විශේෂයෙන් ගොවි ප්‍රජාවන්ට මෙම ඔප්පු මගින් ඉඩම්වල නිරපේක්ෂ අයිතිය ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

මෙම උත්සවය අද පස්වරු 2.00 ට සිදුවේ. ඒ අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදීය.

1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන ආඥාපනත ප්‍රකාරව නිකුත් කර ඇති බලපත්‍ර සහ ප්‍රදාන යටතේ ලබා දී ඇති ඉඩම් සංවර්ධනය කර භුක්ති විඳිමින් සිටින ගොවීන් සහ මහජනතාව එම ඉඩම්වල නිරපේක්ෂ අයිතිය නොමැතිකම හේතුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇත.

විශේෂයෙන්ම මානව සහ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා භූමිය භාවිතා කිරීමේදී මෙන්ම ආර්ථික ඒකකයක් ලෙස භූමිය සංවර්ධනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම අභියෝග මතුව ඇත.

ඒ අනුව 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥාපනතේ 2 වැනි වගන්තියට අනුකූලව ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ නිකුත් කර ඇති බලපත්‍ර සහ දීමනාවලට අදාළ කොන්දේසි ඉවත් කර හිමිකම් ඔප්පුවක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන යටතේ රජයට ස්වේච්ඡාවෙන් භාරදෙන බලපත්‍ර සහ ප්‍රදාන සම්බන්ධයෙන් ‘හිමිකම’ සින්නක්කර හිමිකම් ඔප්පු ප්‍රදානය කෙරේ.

ලබන 27 වැනිදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් වෙත හිමකම සින්නක්කර ඔප්පු 500ක් බෙදාදීමට නියමිතය. ඉදිරියේදී දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *