රවුෆ් හකීම් අමාත්‍යවරයා සහ මුස්ලිම් අන්තවාදී නායක සහරාන් හෂීම් සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝ පටය පිළිබඳව කළ අනාවරණයෙන් පසු තමාට විවිධ පහර ගැසීම් සිදුකෙරෙන බව මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවි පවසයි. තම නිවස පොලිස් පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු තම සංවිධානයට අයත් අත් පත්‍රිකා තොගයක්ද කන්තලේ පොලීසිය සිය භාරයට ගෙන ඇතැයි ඔහු කියා සිටී.
පාස්කු ඉරුදින ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් සහ රවුෆ් හකීම් අමාත්‍යවරයා අතර 2015 මහ මැතිවරණ සමයේදී ජාතික තවුහිද් ජමාද් සංවිධාන කාත්තන්කුඩි කාර්යාලයේදී සිදුව ඇතැයි පැවසෙන සාකච්ඡාවක දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් පසුගියදා මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය විසින් නිකුත් කළ අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ රාවුෆ් හකීම් අමාත්‍යවරයාව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
කෙසේවෙතත් ආන්දෝලනයට තුඩුදුන් අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් ඊයේ(20) මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රවුෆ් හකීම් අමාත්‍යවරයා කියා සිටියේ අදාල දිනයේ තමා හමුවූයේ සහරාන්ව බව තමන් දැන නොසිටි බවයි.
මේ අතර මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයේ සභාපති මිෆ්ලාල් මවුලවිවරයාගේ මාළිගාවත්තේ පිහිටි නිවස පොලිස් පරීක්ෂාවට ලක්කොට ඇති අතර එහි තිබූ අත්පත්‍රිකා සහ පොස්ටර් අඩංගු පාර්සල් කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබුණි.
70 වසරක මුලාවට තිත යනුවෙන් සඳහන් කර සකස් කර තිබූ එම අත්පත්රිකාවල තවත් තොගයක් ඊයේ ත්‍රිකුණාමලයේ ජනතාව වෙත බෙදාහැරීම සඳහා පිටත්කර යවා තිබියදීද කන්තලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැනුම් දී ඇත්තේ මැතිවරණ කොමිසමේ අනුමැතියකින් තොරව අදාළ පත්‍රිකා මුදා හැරිය නොහැකි බවයි.
ඒ අනුව මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානයේ සභාපති මොහොමඩ් මිෆ්ලාල් මවුලවිවරයා ඊට අදාළ අනුමැතිය ලබාගැනීමට මැතිවරණ කොමිසම වෙත පැමිණි අතර එහිදී ඔහු කියා සිටියේ අදාල අනාවරණයෙන් පසු තමන්ට බලපෑම් එල්ල වෙමින් පවතින බවයි.