සුනාමියට වසර 17යි

සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය පුද්ගලයින් සිහිපත් කිරීම සඳහා ජාතික සුරක්ෂිත දිනය දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් අද (26) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

කොවිඩ් වසංගතය නිසා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ජාතික සුරක්ෂිත දිනය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේය.

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින සුමාත්‍රාව ආසන්නයේ සිදුවූ භූ කම්පාව සමග ඇති වූ සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ළගා වූ අතර මෙරට මුහුදුබඩ දිස්ත්‍රික්ක 14ක් සුනාමි ආපදාවට ගොදුරු විය.

සුනාමි ව්‍යසනයෙන් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5,000ක පිරිසක් අතුරුදන් වී තිබේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 34ක පවුල්  235,145ක පුද්ගලයින් 5,002,456 දෙනෙකු සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්වූ අතර එමගින් සිදුවූ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික හානිය අතිමහත්ය.

2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එහිදී සුනාමි ව්‍යසනයෙන් සහ විවිධ ආපදාවලින් මියගිය සියලු දෙනා සිහිපත් කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් රැකීම සිදුකරනු ලබයි.

සුනාමි ව්‍යසනය සිදුවී වසර 17ක් සපිරෙන අද (26) දිනයේත් පෙරවරු 09.25 සිට පෙරවරු 09.27 දක්වා විනාඩි 02ක නිශ්ශබ්දතාව රැකීම සිදුකරන අතර දිස්ත්‍රික් මට්ටමින් ජාතික සුරක්ෂිත දිනය සැමරීමට කටයුතු සංවිධානය කර ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ අතර පෑරලිය සුනාමි ස්මාරකය අභියසදී ප්‍රධාන සැමරුම් උත්සවට පැවැත්වීමට සැලසුම් කර ඇති අතර පෑරලිය සුනාමි අනතුර සිහි කිරීම සඳහා අද උදෑසන කොළඹ සිට පෑරලිය දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *