සවුදියේදී අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය අහෝසි කරවීම ගැන මියන්මාර හින්දු ප්රජාවෙන් ජනපති අනුර කුමාරට ප්රණාමය

සවුදි අරාබියේදී ශ්රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා (Anojan Sivarasa) නමැත්තා වෙත නියම කර තිබූ මරණ දණ්ඩනය අහෝසි කරවා ගැනීම සඳහා ශ්රී ලංකා රජය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ගෙන යන ලද සාර්ථක රාජ්යතාන්ත්රික මැදිහත්වීම අගය කරමින්, මියන්මාරයේ හින්දු මුන්නානි (Hindu Munnani Myanmar) සංවිධානය සිය ගෞරවණීය ප්රණාමය පුද කර තිබේ.
මියන්මාරයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරන්නේ, රජය විසින් ඉටුකළ මෙම මානුෂීය සහ රාජ්යතාන්ත්රික කාර්යභාරය ඇගයීමට ලක්කරමින්, ජනාධිපතිවරයා වෙත යොමුකළ විශේෂ ප්රශංසා ලිපියක් සහ දීපවාලි සුබපැතුම් තිළිණ පැකේජයක් එම සංවිධානය විසින් පිරිනමා ඇති බවයි.
පසුගිය ඔක්තෝබර් 21 වැනි දින යැංගොන් නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේදී මියන්මාරයේ ශ්රී ලංකා තානාපතිනි ප්රභාෂිණී පොන්නම්පෙරුම මහත්මිය වෙත මෙම නිල ලිපිය සහ තිළිණය නිල වශයෙන් භාරදෙන ලදී.
මියන්මාර හින්දු මුන්නානි සංවිධානයේ ප්රධාන ලේකම් ක්යෝ නයින්ග් ඌ (Kyaw Naing Oo), අනුශාසකවරුන් වන ක්යි සෝයි සහ ක්යෝ මින්, සභාපති නයින්ග් වින් ටූන් මෙන්ම නිලධාරිනියන් වන තාන් තාන් සෝයි සහ මොන් මොන් සන් යන මහත්ම මහත්මීහු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“ජාති, ආගම් ඉක්මවා ගිය මානුෂීය ගුණාංගයක්”
මෙහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ නියෝජිතයින්, සවුදි අරාබියේ මරණ දණ්ඩනයට නියමව සිටි ශ්රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ශ්රී ලංකා රජය දැක්වූ සක්රීය රාජ්යතාන්ත්රික මැදිහත්වීම ඉහළින්ම ඇගයීමට ලක්කළහ.
විශේෂයෙන්ම ජාති, ආගම් හෝ දේශසීමා භේදයකින් තොරව තම පුරවැසියෙකුගේ ජීවිතය රැකගැනීම උදෙසා ශ්රී ලංකා රජය ක්රියාකළ ආකාරය සැබෑ සහකම්පනය සහ සහෝදරත්වය විදහාපාන උදාර මානුෂීය ආදර්ශයක් බව ඔවුහු පෙන්වා දුන්හ.
මියන්මාර ප්රජාව විසින් ශ්රී ලංකාව කෙරෙහි දක්වන ලද මෙම සුහදශීලීභාවය සහ සහයෝගීතාව වෙනුවෙන් යැංගොන්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය සිය හෘදයාංගම කෘතඥතාව පළ කර ඇත.




