Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සයිබර් උවදුරුවලින් දරුවන් රකින්න ජාතික සැලැස්මක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ළමා සූරාකෑම්, සයිබර් හිරිහැර (Cyberbullying) සහ ඩිජිටල් අවකාශයේ පවතින අනෙකුත් තර්ජනයන්ගෙන් මෙරට දූ දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා ඒකාබද්ධ ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමේ මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, “ළමා අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම පිළිබඳ මුලපිරීම” (Initiative for Child Online Safety and Digital Wellbeing) මැයෙන් ප්‍රමුඛ පෙළේ අමාත්‍යාංශ හතක (07) නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය සඳුදා (02) අරලියගහ මන්දිරයේදී මෙම මූලික හමුව පැවැති බවයි.

මෙම සාකච්ඡා මාලාව ඔස්සේ සකස් කෙරෙන ජාතික ආරක්ෂණ රාමුව, 2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ළමා අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ කලාපීය සමුළුවට පෙර, එළඹෙන දෙසැම්බර් 16 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල වටමේස සාකච්ඡාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේ ආරම්භක දේශනය සිදුකළ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, ඩිජිටල් තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ ළමුන් මුහුණ දෙන අවදානම ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය. ඒ අනුව බලගැන්වීම, පූර්ව ආරක්ෂාව සහ වගවීම මෙන්ම නීතිමය පාලනය සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීම යන ප්‍රධාන කුලුනු තුන යටතේ මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.

2026 දී සියලු ද්විතීයික පාසල්වලට අන්තර්ජාලය

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා හෙළි කළේ, 2026 වසර අවසන් වන විට මෙරට සියලුම ද්විතීයික පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීමටත්, 2027 වසරේදී එය ප්‍රාථමික පාසල් දක්වා ව්‍යාප්ත කිරීමටත් රජය සැලසුම් කර ඇති බවයි.

තාක්ෂණයට ප්‍රවේශය පුළුල් කරන අතරම දරුවන්ට සුරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, දකුණු ආසියානු රටවල් ඒකාබද්ධ කරගනිමින් කලාපීය මට්ටමින් ළමා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ ප්‍රමුඛ නායකත්වය ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ යුනිසෙෆ් (UNICEF) සංවිධානය විසින් තාක්ෂණික ඉදිරිපත් කිරීම් සිදුකළ අතර, ඩිජිටල් ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන, කාන්තා හා ළමා කටයුතු, ආරක්ෂක, මහජන ආරක්ෂක සහ තරුණ කටයුතු යන අමාත්‍යාංශ 7ක නියෝජිතයෝ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහුද එක්ව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.

ඔබේ අදහස