සපුගස්කන්දේ වැසි ජලයට මිශ්‍ර වූ තෙල් කැළණි ගඟට මිශ්‍ර වීමේ අවදානමක් තිබුනද ඉන් පානීය ජල සැපයුමට බාධාවක් නොවන බව පැවසේ

දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන වැසි ජලය හරහා කැළණි ගඟට මුසු වීමේ අවධානමක් පැවතියද පානීය ජල සැපයුමට ඉන් මෙතෙක් කිසිදු බාධාවක් නොමැති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි සභාපති නිෂාන්ත රණතුංග මහතා සඳහන් කළේ දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන වැසි ජලය හරහා කැළණි ගඟට මුසු වුවහොත් පමණක් ජල සැපයුම අත්හිටුවනු බවයි.

කෙසේවෙතත් දැනට පවතින තත්ත්වය අනුව ජල සැපයුම අත්හිටුවීමට අවශ්‍ය නොවනු ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

පවතින අධික වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන ගබඩා ටැංකි තුලට වැසි ජලය ඇතුළු වී තිබුණි.

වැසි ජලය සමග මිශ්‍ර වී ඇති මෙම දැවි තෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩු වි කැළණි ගඟේ ජල මට්ටම අඩු වීමත් සමග පට්ටිවෙල ඇල හරහා කැළණි ගඟට එක් වීමේ අවධානමක් ද ඇති බව මීට පෙර වාර්තා වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *