සජිත්ට හා අනුරට ජනපතිගෙන් විවෘත අභියෝගයක්

තවදුරටත් ජනතාවට බොරු නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කරන බවත්, එවිට ඔවුන් අද වේදිකාවල පවසන දේ සත්‍ය අසත්‍යතාව සමස්ත රටේම ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ වුවහොත් රටේ  ආර්ථිකය නැවත කඩා වැටෙන බවත් බඩු මිල අඩු කරන බවට සහ බදු අඩුකරන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් මඟින් ජනතාව රවටමින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක රටට කිරීමට යන විනාශය වහා නතර කළ යුතු බවත් අවධාරණය කළේය.

බඩු මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට තමාද කැමති නමුත් ඒ සඳහා හැකියාව ඇත්තේ රුපියල ශක්තිමත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවලට අනුව කටයුතු කිරීමෙන් පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ හැර වෙනත් විකල්පයක් තිබේනම් එය වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන
සාකච්ඡාවේදී ඉදිරිපත් කර මතය විමසන  ලෙසද සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමිනි.

එක්සත් ජාතික පක්ෂය බිහි කළ ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වුයේ ශ්‍රී ලාංකිය අනන්‍යතාව ආරක්ෂා කිරීම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන මෙන්ම රණසිංහ ප්‍රේමදාස මහතා සමඟ කටයුතු කර තමා ලද ආභාෂය වන්නේ ද සියල්ල ට පෙර රට රැක ගැනීම බව පැවසීය.

එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක් මෙම විශේෂ සම්මේලනයට එක්ව සිටි අතර 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් රට බේරාගත් රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමේ යුග මෙහෙවර ඉටු කිරීම සඳහා සැප්තැම්බර් 21වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමටත්, එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී කටයුතු කිරීමටත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ එකඟත්වය පළ කිරිමේ යෝජනාව ඒක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා විසින් මෙහිදී පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කළේය.

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා එය ස්ථිර කිරීමෙන් පසු  සියලුදෙනා දෑත් ඔසවා යෝජනාව  ඒකමතිකව සම්මත කළහ.මේ අතර ප්‍රතිසංස්කරණය කරන ලද සිරිකොත පක්ෂ මූලස්ථානය විවෘත කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *