2026 සැප්තැම්බර් 15 වැනිදා සිට ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන් තායිලන්තයේ වීසා නිදහස් ඇතුළුවීමේ ක්‍රමයට තවදුරටත් සුදුසුකම් නොලබන බව තායි රජය නිවේදනය කර තිබේ.
තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, සංශෝධිත වීසා නිදහස් කිරීමේ සහ වීසා ඔන් ඇරයිවල් ක්‍රමවේදයන් අගෝස්තු 31 වැනිදා රාජ්‍ය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති අතර, එම නව ක්‍රියාමාර්ග සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.
මෙම වෙනස්කම් සිදුකර ඇත්තේ පසුගිය මැයි මාසයේදී තායි කැබිනට් මණ්ඩලය අනුමත කළ වීසා ප්‍රතිපත්ති සමාලෝචනයකට අනුවය. එහිදී දැනට ක්‍රියාත්මක දින 60ක වීසා නිදහස් කිරීමේ ක්‍රමය අහෝසි කිරීම සහ කෙටි කාලයක් සඳහා වීසා නොමැතිව ඇතුළුවීමට අවසර ලබාදෙන රටවල් ලැයිස්තුව සංශෝධනය කිරීම ඇතුළු කරුණු සලකා බලා තිබේ.
ජාතික ආරක්ෂාව, සංචාරක කර්මාන්තය හා ආර්ථික අවශ්‍යතා, දෙරට අතර අන්‍යෝන්‍ය පහසුකම් සැලසීමේ ප්‍රතිපත්තිය සහ තායිලන්තයේ විද්‍යුත් වීසා (e-Visa) පද්ධතියේ පහසුකම් ලබාගත හැකි වීම ඇතුළු කරුණු මෙම සමාලෝචනයේදී සැලකිල්ලට ගෙන ඇත.
ඒ අනුව, නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමෙන් පසු තායිලන්තයට සංචාරය කරන ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට රටට පැමිණීමට පෙර අදාළ වීසා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වේ.
වීසා සඳහා අයදුම් කිරීම් තායිලන්තයේ මාර්ගගත e-Visa පද්ධතිය හරහා සිදුකළ හැකිය. කොළඹ පිහිටි තායි රාජකීය තානාපති කාර්යාලය වෙත පැමිණ පෞද්ගලිකව වීසා අයදුම්පත් භාරගැනීම සිදු නොකරන අතර, අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ අදාළ ගාස්තු ගෙවීම මාර්ගගතව සිදුකළ යුතු බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
කෙසේ වෙතත්, සැප්තැම්බර් 15 වැනිදාට පෙර දැනට ක්‍රියාත්මක වීසා නිදහස් කිරීමේ පහසුකම යටතේ තායිලන්තයට ඇතුළු වන සංචාරකයින්ට, ඔවුන්ට දැනට ලබාදී ඇති අවසර කාලය අවසන් වන තෙක් එරට රැඳී සිටීමට අවසර හිමිවන බව තායි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.


