ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය විසින් ජපානය, දකුණු කොරියාව, ඊශ්‍රායලය සහ මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් කිහිපයක නව විදේශ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒජන්සියේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඉදිකිරීම්, නිපුණතා හා තාක්ෂණික ක්ෂේත්‍ර, සෞඛ්‍ය සේවා, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු, ප්‍රවාහන, කෘෂිකර්මාන්ත, ඇඟලුම් නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා සඳහා මේ වන විටත් බඳවා ගැනීම් ආරම්භ කර ඇති බවයි.
ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙම රැකියා අවස්ථා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත මෙන්ම වෘත්තීය සුදුසුකම් ඇති ශ්‍රමිකයන් සඳහාද විවෘතව ඇති බවයි. අයදුම්කරුවන්ට සාපේක්ෂව අඩු වියදමකින් අයදුම් කිරීමේ අවස්ථාවද ලබාදී තිබේ.
පාසල් අධ්‍යාපනය අවසන් කළ තරුණයන්ටද ජපානයේ ට්‍රක් රථ රියදුරු රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන බවත්, ඒ සඳහා අවශ්‍ය ජපන් භාෂා දැනුම සපුරා තිබිය යුතු බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
රැකියා අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට සහ අයදුම් කිරීමට www.slfea.lk වෙබ් අඩවියට පිවිසිය හැකිය.
ශ්‍රී ලාංකික නිපුණතා සහිත ශ්‍රමිකයන්ට විදේශ රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාව පුළුල් කරමින් ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන්ට වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට හැකිවන පරිදි ගුවන් ටිකට්පත් අලෙවි මධ්‍යස්ථානයක්ද ඒජන්සිය විසින් ස්ථාපිත කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


