Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිංගප්පූරු මාධ්‍ය නියෝජිතයින් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සිංගප්පූරු ජාතික සංචාරකයින් අතර ශ්‍රී ලංකාව වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ දූත පිරිසක් නොවැම්බර් 01 වැනිදා සිට 07 වැනිදා දක්වා මෙරට විශේෂ ප්‍රවර්ධන හා අධ්‍යයන චාරිකාවක (Familiarisation tour) නිරතව සිටිති.

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සහ සිංගප්පූරු ප්‍රෙස් ක්ලබ් (Singapore Press Club) සංවිධානය ඒකාබද්ධව මෙම සංචාරය සංවිධානය කර ඇති බවයි.

සිංගප්පූරු ප්‍රෙස් ක්ලබ් හි උප සභාපති බග්මන් සිං (Baghman Singh) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම මාධ්‍ය කණ්ඩායම, සිය සතියක සංචාරය තුළ ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංස්කෘතික උරුමයන්, ස්වභාවික සෞන්දර්යය, ප්‍රමුඛ සංචාරක ආකර්ෂණ ස්ථාන, ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය මෙන්ම මෙරටටම ආවේණික රසවත් ආහාර සංස්කෘතිය පිළිබඳවද සෘජු අත්දැකීම් ලබාගැනීමට නියමිතය.

සංචාරයට පෙර පැවති විශේෂ දැනුවත් කිරීම

මෙම සංචාරයට පෙර, සහභාගී වන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් පසුගිය ඔක්තෝබර් 28 වැනි දින සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ඊට මාධ්‍යවේදීන් සෘජුව සහභාගී වූ අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ උසස් නිලධාරීහු මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට එක්වූහ. එහිදී ශ්‍රී ලංකාව සතු විවිධාංගීකරණය වූ සංචාරක විභවතාවන් පිළිබඳව ඔවුන්ව පුළුල් ලෙස දැනුවත් කෙරිණි.

මෙම සංචාරය අවසන් වීමෙන් අනතුරුව, අදාළ මාධ්‍යවේදීන් ශ්‍රී ලංකාවේදී ලබන අත්දැකීම් සිය පුවත්පත්, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය ජාලයන් ඔස්සේ ප්‍රචාරය කිරීමට නියමිත අතර, එමඟින් සිංගප්පූරු ජනතාව අතර මෙරට සංචාරක කර්මාන්තය පිළිබඳව ඉහළ දැනුවත්භාවයක් හා උනන්දුවක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දෙරට අතර පවතින ජනතා සබඳතා සහ මාධ්‍ය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින්, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ක්‍රියාත්මක අඛණ්ඩ ප්‍රයත්නයේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.

ඔබේ අදහස