LK reports news sinhala

වී මිලදී ගැනීමේ වැඩසටහනේ පවතින ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සහතික වෙයි

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය ප්‍රමාණවත් මුදලක් වෙන් කර නොමැති බැවින් භාණ්ඩාගාරයෙන් ලැබුණු මුදලින් වී ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම තත්ත්වය හමුවේ අපේක්ෂිත මිල නොලැබීම හේතුවෙන් ගොවීන් වී අලෙවි කිරීමට උනන්දු නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා ඉහත ප්‍රකාශය කළේ පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමේදී වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ගැටලුවලට පිළිතුරු ලබාදෙමින්.

වී මිලදී ගැනීම සඳහා නියම කර ඇති අවම මිලට සහල් මිලදී ගත්තද එම මිලට වඩා අඩු මිලකට සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලයට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. උද්ගතව ඇති තත්ත්වය හමුවේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳීමට පියවර ගන්නා බව ඔහු දැනුම් දුන්නේය.

මඩකලපුව සහ අම්පාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ඉහත දිස්ත්‍රික්කවල ගොවීන් අනෙකුත් ප්‍රදේශවලට වඩා කලින් වගා කාලය ආරම්භ කිරීම නිසා වැඩි මිලකට පොහොර මිලදී ගැනීමට සිදුව ඇති බවයි. වගා කන්නය තීරණය කිරීම සඳහා පැවැත්වෙන රැස්වීමේදී පොදුවේ කන්නය ආරම්භ වන දිනය තීරණය කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පැවසීය. සමස්ත දිවයිනටම බලපාන පරිදි කන්නය ආරම්භ වන දිනය පිළිබඳව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීමට අවධානය යොමු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

තවද, බිත්තර නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් බිත්තර මිල ඉහළ මට්ටමක පවතින බවත්, ක්‍රමානුකූලව නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල අඩුවිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී.හේරත්, විජිත බේරුගොඩ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්.ෆවුසි, චන්දිම වීරක්කොඩි, ඒ.එල්.එම්.අතාවුල්ලා, පියංකර ජයරත්න, රාජාපප්පා ජයරත්න, ශිවඥානම් ශ්‍රීතරන්, චාල්ස් නක්මලාම් ශ්‍රීදරන්, චාල්ස් නක්මලාම්ල වරුණ ලියනගේ, කින්ස් නෙල්සන්, තවරාජා කලෙයි අරසන්, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් තිලීපන්, ජගත් කුමාර සුමිත්‍රආරච්චි යන මහත්වරු කාරක සභා රැස්වීමට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *