Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඩුබායි දැවැන්තයෙකුගෙන් හම්බන්තොට වරායේ ව්‍යාපාර පුළුල් කිරීමට සාකච්ඡා

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති නාවික ප්‍රවාහන අර්බුදය හමුවේ, ගල්ෆ් කලාපීය රටවල් වෙත මෝටර් රථ වාහන ප්‍රතිනැව්ගත කිරීමේ ප්‍රධානතම විකල්ප නාවික ද්වාරයක් (Alternative Gateway) බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) පත්වෙමින් ඇති පසුබිමක, ඩුබායි හි ප්‍රමුඛතම සැපයුම් දැවැන්තයෙකු වන ‘අල්-ෆුත්තයිම් ලොජිස්ටික්ස්’ (Al-Futtaim Logistics) සමාගම සමඟ පවතින ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) පියවර ගෙන තිබේ.

අල්-ෆුත්තයිම් සමූහ ව්‍යාපාරයේ උප සභාපතිවරයා ප්‍රමුඛ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හම්බන්තොට වරායේ සිදුකළ විශේෂ සුහද නිරීක්ෂණ චාරිකාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

හම්බන්තොට වරාය සහ ගල්ෆ් කලාපීය වෙළෙඳපොළ යා කරමින් ක්‍රියාත්මක ‘කැස්කැඩියා රෝ-රෝ ෆීඩර් සේවාව’ (CASCADIA RoRo Feeder Service) තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම, හම්බන්තොට වරාය මෙහෙයුම් සහ ඒ ආශ්‍රිත කාර්මික උද්‍යානය (Industrial Park) තුළ සෘජු ආයෝජනයන් සිදුකිරීමට නියෝජිත පිරිස දැක්වූ දැඩි උනන්දුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

හෝමූස් අර්බුදය හමුවේ හම්බන්තොට ඉටුකළ මෙහෙවර

පසුගිය 2026 මාර්තු මාසයේදී හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව හටගත් නාවික බාධාවන් හමුවේ මැදපෙරදිග කලාපීය වාහන සැපයුම් ජාලය බිඳනොවැටී පවත්වාගෙන යාම සඳහා භාවිත කළ ප්‍රධාන විකල්ප නාවික මධ්‍යස්ථාන තුනෙන් එකක් ලෙස හම්බන්තොට වරාය තෝරාගත් බව අල්-ෆුත්තයිම් සමාගම නිකුත් කළ ධවල පත්‍රිකාවක (White Paper) සඳහන් කර තිබිණි. මස්කට් හි සුල්තාන් කබූස් වරාය සහ ඕමාන් බොක්කේ ඛෝර් ෆක්කාන් වරාය සෙසු විකල්ප ද්වාර දෙක විය.

එම වාර්තාවට අනුව, මෙම විකල්ප මාර්ග ත්‍රිත්වය ඔස්සේ නිමි වාහන 25,000කට අධික ප්‍රමාණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන්, කුවේට් සහ සවුදි අරාබිය යන රටවල් වෙත සාර්ථකව ප්‍රතිනැව්ගත කරමින් අර්බුදකාරී සමයේදී කලාපයේ වාහන සැපයුම අඛණ්ඩව සුරක්ෂිත කිරීමට හම්බන්තොට වරාය ඇතුළු ජාලයට හැකිවිය.

කැනඩාවේ මූලස්ථානය පිහිටි ‘කැස්කැඩියා’ (CASCADIA) නාවික සමාගම මඟින් මෙහෙයවනු ලබන මෙම විශේෂ රෝ-රෝ සේවාව හරහා හම්බන්තොට වරාය ගෝලීය වාහන සැපයුම් ජාලය සමඟ සෘජුවම බද්ධ වී ඇත. ලොව රටවල් 150කට අධික සංඛ්‍යාවක ව්‍යාපාරික ජාලයක් හිමි අල්-ෆුත්තයිම් සමාගමේ මෙම නව ආයෝජන උනන්දුවත් සමඟ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදිරියේදී දකුණු ආසියාවේ සහ මැදපෙරදිග කලාපයේ ප්‍රධානතම සමුද්‍රීය සැපයුම් කේන්ද්‍රස්ථානයක් ලෙස තවදුරටත් බලගැන්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඔබේ අදහස