ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් ගොඩනගන්න ශ්‍රී ලංකාව සහ කසකස්තානය අත්වැල් බැඳගනී

ජාතික කෘත්‍රිම බුද්ධි (AI) දත්ත යටිතල පහසුකම්, ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සහ උසස් AI පාලන රාමු පිළිබඳව සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ කසකස්තානය ඉහළ මට්ටමේ සාකච්ඡා ආරම්භ කර තිබේ.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 13 වැනිදා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී මෙම ද්විපාර්ශ්වික හමුව පැවැත්විණි. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech ආයතනයේ සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ කසකස්තානයේ කෘත්‍රිම බුද්ධි හා ඩිජිටල් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ අසෙම් කප්පාර් (Assem Kappar) මහත්මිය ඇතුළු ප්‍රධාන නිලධාරීහු පිරිසක් මීට එක්ව සිටියහ.
ජාතික AI දත්ත මධ්‍යස්ථානය පිළිබඳ අවධානය
දත්ත ස්වෛරීභාවය තහවුරු කිරීම අරමුණු කරගත් කසකස්තානයේ ජාතික AI දත්ත මධ්‍යස්ථාන ආකෘතිය, විශේෂයෙන්ම එහි ධාරිතාව, ස්වෛරී දත්ත රඳවා ගැනීම (Sovereign hosting) සහ සෘජු රාජ්‍ය ආයෝජන උපායමාර්ගය මෙම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාවක් විය.
ශ්‍රී ලංකාවේ යෝජිත ජාතික AI දත්ත මධ්‍යස්ථානය සඳහා ධාරිතා තක්සේරු කිරීම්, බලශක්ති අවශ්‍යතා සහ ප්‍රාග්ධන ආයෝජන පරාමිතීන් සම්බන්ධයෙන් තාක්ෂණික විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟ විය.
කසකස්තානයේ ඩිජිටල් ඒකාබද්ධතා ආකෘති
සෞඛ්‍ය සහ දේපළ වෙළෙඳාම් වැනි ක්ෂේත්‍ර හරහා බාධාවකින් තොරව රාජ්‍ය-පෞද්ගලික සේවා අන්තර්ක්‍රියාකාරීත්වය සලසන “Smart Bridge” වේදිකාව ඇතුළු කසකස්තානයේ ඩිජිටල් ඒකාබද්ධතා ආකෘති පිළිබඳව ද කසකස්තාන නියෝජිත පිරිස කරුණු බෙදා ගත්හ. ඊට අමතරව පහත සඳහන් තාක්ෂණික විසඳුම් පිළිබඳව ද සාකච්ඡා කෙරුණි:
දැඩි ආරක්ෂක සහ වංචා-විරෝධී ප්‍රමිතීන්ගෙන් යුත් ජාතික දත්ත හුවමාරු පද්ධතිය (National Data Exchange – NDX)
ඒකාබද්ධ සුපර්-ඇප් (SuperApp) පරිසර පද්ධතිය
මහජන සේවා සඳහා වන e-Gov GPT අතුරුමුහුණත
රාජ්‍ය නිලධාරීන් සඳහා වන ආරක්ෂිත අභ්‍යන්තර GPT පද්ධතිය
කසකස්තානයේ දේශීය විශාල භාෂා ආකෘතිය වන KazLLM
ජාත්‍යන්තර සහයෝගීතාව ඔස්සේ ස්වෛරී, ආරක්ෂිත සහ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා මෙම හවුල්කාරිත්වය වැදගත් පියවරක් සනිටුහන් කරන බව නිලධාරීහු සඳහන් කළහ.




