ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපිය සම්බන්ධයෙන් තව දුරටත් කටයුතු නොකරන බවට කථානායකවරයා ඇතුළු වග උත්තරකරුවන් විසින් දැනුම් දී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ ලිපිය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයෙකු වන බී. පී. එස්. එම්. පතිරත්න මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි නීතිපති සංජය රාජරත්නම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් විසින් ඉකුත් නොවැම්බර් මස 14 වනදා අගවිනිසුරුවරයා වෙත යොමු කළ අදාළ ලිපිය සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු නොකරන බවට කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දැනුම් දී ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ රීතීන් සැකසීම සඳහා අදාළ ලිපිය එහි සාමාජිකයින් විසින් අගවිනිසුරුවරයා වෙත යොමු කළ බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් විසින් සද්භාවයකින් යොමු කළ ලිපියක් බවත් නීතිපතිවරයා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය අගවිනිසුරුවරයා වෙත දැනුම් දිය යුතු බවත් සඳහන් කර සිටියේය.
එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, අධිකරණයේ හමුවේ අද සඳහන් වූ මෙම කරුණු කාරණා තමා විසින් අගවිනිසුරුවරයාට ද දැනුම් දීමට කටයුතු කරන බවය.
ඒ අනුව පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය මේ වනවිට ලැබී ඇති හෙයින් අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම්, නීතිපති ඇතුළු 11 දෙනෙකු නම් කර තිබේ.
පසුගිය 14 වනදා කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් පිරිසක් අගවිනිසුරුවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා උසස්වීම් ලැබීමට නියමිත උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ වෘත්තීය තත්ත්වය මෙන්ම ඔවුන්ගේ වෘත්තීය කාර්යක්ෂමතාවය පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව තමන්ට දැනගන්නට ලැබී ඇතැයි පෙත්සම්කරු පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඇ) (4) ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ලිපිය අගවිනිසුරුවරයා වෙත යොමු කර තිබෙන බව දැනගන්නට ලැබී තිබෙන බවත් පෙත්සම්කරු සඳහන් කළේය.
මේ තුළින් වගඋත්තරකරුවන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල කර ඇති බවත් අධිකරණය සතු ගෞරවය අවමානයට ලක් කර තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කළේය.
මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 10 සහ 107 යන වගන්ති උල්ලංඝනය වන අතර අදාළ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් බලය බෙදීමේ න්‍යායට පටහැනි බවත් ඔහු පෙන්වා දුනි.
එම ලිපිය තුළින් වගඋත්තරකරුවන් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති අතර නීතියේ ආධිපත්‍යය ද අභියෝගයට ලක් කර තිබෙන බවත් ඔහු චෝදනා කර තිබේ.
මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මඟින් සහතික තිබෙන 12(1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබේ.
ඊට අමතරව අදාළ ලිපිය ඉවත් කර ගන්නා ලෙස කථානායකවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.