පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මහතා විසින් නුවරඑළිය කන්දේ ඇළ අධ්‍යාපනික වන උද්‍යානයේ නව වන කෞතුකාගාරයක් විවෘත කර තිබේ.
අමාත්‍යවරයාගේ සැප්තැම්බර් 26දා සිදු කළ ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මෙම කෞතුකාගාරය විවෘත කර ඇති අතර, වන සංරක්ෂක ජනරාල් එස්.සී. පාලමකුඹුර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ වසර 139ක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, වනාන්තර සංරක්ෂණය සඳහා එම දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණයට අදාළ ඓතිහාසික ද්‍රව්‍ය රැසක් මෙම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන බවයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වසර ගණනාවක් පුරා භාවිත කළ උපකරණ, සිතියම්, නිල ඇඳුම්, ලේඛන ඇතුළු විවිධ ඓතිහාසික භාණ්ඩ රැසක් එහි ප්‍රදර්ශනයට තබා තිබේ.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඓතිහාසික උරුමය සංරක්ෂණය කිරීම මෙන්ම, වනාන්තර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමද මෙම කෞතුකාගාරය ස්ථාපිත කිරීමේ අරමුණක් බව අමාත්‍යාංශය සඳහන් කළේය.
නුවරඑළිය නගරයේ සිට නුවරඑළිය පට්ටිපොළ මාර්ගයේ කිලෝමීටර් 12ක් පමණ දුරින්, කන්දේ ඇළ ජලාශය ආසන්නයේ අක්කර 30ක පමණ භූමි ප්‍රමාණයක කන්දේ ඇළ අධ්‍යාපනික වන උද්‍යානය පිහිටා තිබේ.
ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර පරිසර පද්ධතිය අත්විඳීමට මෙම උද්‍යානයට පැමිණෙන ජනතාවට අවස්ථාව සැලසෙන අතර, එහි දේශීය ශාක, පක්ෂීන්, සමනලුන් සහ අනෙකුත් වනජීවීන් නිරීක්ෂණය කිරීමටද හැකියාව පවතී.
පරිසරයට වගකීම් සහගත සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමද මෙම උද්‍යානය මගින් සිදු කෙරේ.
උද්‍යානය තවදුරටත් සංවර්ධනය කිරීම තුළින් වන සංරක්ෂණ කටයුතු සඳහා මහජන සහභාගීත්වය ශක්තිමත් කිරීම, රාජ්‍ය ආදායම් උත්පාදනය කිරීම සහ ස්වභාවධර්මය පදනම් කරගත් සංචාරක අවස්ථා පුළුල් කිරීම අරමුණු කර ඇති බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.


