අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටින හෝ සැඟවී සිටින පුද්ගලයන්ට එරෙහිව අධිකරණයට නීතිමය පියවර ගැනීමට බලය ඇති බව ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට සිහිපත් කර තිබේ.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 60 වැනි වගන්තිය යටතේ, වරෙන්තුවක් මඟහරිමින් සිටින පුද්ගලයෙකුට නිශ්චිත ස්ථානයක සහ නිශ්චිත වේලාවක අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ලිඛිත ප්‍රකාශයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාව පවතී.
එම ප්‍රකාශය මඟින් අදාළ පුද්ගලයාට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා අවම වශයෙන් දින 30ක කාලයක් ලබාදිය යුතු බව පොලිසිය සඳහන් කළේය.
එලෙස ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් පසුවද අදාළ පුද්ගලයා අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත්, පනතේ 61 වැනි වගන්තිය යටතේ එම පුද්ගලයාට අයත් චංචල හෝ නිශ්චල දේපළ අත්පත් කර ගැනීමට නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.


