රෝහල තෝරාගෙන යන ක්‍රමය වෙනස් කරයි: ආරෝග්‍යා මධ්‍යස්ථාන 1,000ක් හරහා නව සෞඛ්‍ය සේවා ක්‍රමයක්

රෝගීන් තමන්ට අවශ්‍ය රෝහල හෝ විශේෂඥ වෛද්‍යවරයා තෝරාගෙන සෘජුවම ප්‍රතිකාර ලබාගැනීමේ වත්මන් ක්‍රමය වෙනුවට නව සෞඛ්‍ය සේවා ක්‍රමයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

යෝජිත නව ක්‍රමය යටතේ සෑම පවුලකටම ප්‍රාථමික සෞඛ්‍ය සේවා වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, ඒ සඳහා “ආරෝග්‍යා” මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමට නියමිතය.

ප්‍රධාන රෝහල් වෙත ප්‍රතිකාර සඳහා යොමුවීමේදී සාමාන්‍යයෙන් පළමුව තම ප්‍රාථමික වෛද්‍යවරයාගෙන් යොමු කිරීමක් ලබාගත යුතු වන පරිදි නව ක්‍රමය සකස් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.

“කොත්තමල්ලි බීලා ටිකක් විවේක ගත්තොත් සුව වෙන දෙයක් නම් ගෙදර ගිහින් විවේක ගන්න. බෙහෙත් නියම කළොත් ඒ බෙහෙත් ගන්න. බෙහෙත් දුන්නත් මිනිස්සු ඒ සියල්ල ගන්නේ නැහැ. මේක නාස්තියක්. මේක අපරාධයක්,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

මිලියන 22කට ආසන්න ජනගහනයක් සිටින ශ්‍රී ලංකාවේ රාජ්‍ය රෝහල්වල බාහිර රෝගී අංශ වෙත වාර්ෂිකව මිලියන 80කට පමණ රෝගීන් පැමිණෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙවැනි විශාල රෝගී ප්‍රවාහයක් පවතින නමුත් වත්මන් සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ නිසි සම්බන්ධීකරණයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමේ ක්‍රමවේදය වඩාත් ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *