ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මැයි මාසයේදී සිදු කළ අනපේක්ෂිත පදනම් ලකුණු 100ක පොලී අනුපාත ඉහළ දැමීමෙන් අනතුරුව, මෙම වසර තුළ තවදුරටත් පොලී අනුපාත ඉහළ දැමීමක් අපේක්ෂා නොකරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසූ බව Reuters වාර්තා කරයි.
අඟහරුවාදා Reuters වෙත අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ උද්ධමනය වර්තමාන මට්ටම් ආසන්නයේ ඉහළම අගයට ළඟා වී ඉන් අනතුරුව ක්‍රමයෙන් පහළ යමින් 2027 වසරේදී 5%ක ඉලක්කය වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
වසර තුනකට වැඩි කාලයකට පසු පළමු වරට මැයි මාසයේදී පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගනු ලැබුවේ ඉරානයේ පවතින යුද්ධය හේතුවෙන් ඇතිවූ උද්ධමන පීඩනය පාලනය කිරීමේ පූර්ව ක්‍රියාමාර්ගයක් ලෙස බවද ඔහු සඳහන් කර ඇත.
උද්ධමනයේ වර්ධනය අපේක්ෂාවන්ගෙන් බැහැර වන්නේද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කළ යුතු බව පැවසූ මහ බැංකු අධිපතිවරයා, මේ වන විට උද්ධමන ප්‍රවණතාව සමස්තයක් ලෙස අපේක්ෂා කළ මට්ටම්වල පවතින බවද පෙන්වා දී තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රධාන උද්ධමන දර්ශකය ජූලි මාසයේදී 7.3% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය වසර තුනකින් වාර්තා වූ ඉහළම වර්ධනය ලෙස සැලකේ. බලශක්ති පිරිවැය ඉහළ යාම එයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. ඇතැම් විශ්ලේෂකයන් පුරෝකථනය කර ඇත්තේ නොවැම්බර් මාසය වන විට උද්ධමනය 8% දක්වා ඉහළ යා හැකි බවයි.
කෙසේ වෙතත්, මැයි මාසයේ සිදු කළ පොලී අනුපාත ඉහළ දැමීමේ සම්පූර්ණ බලපෑම ආර්ථිකයට අවශෝෂණය වීමට මාස 12ත් 18ත් අතර කාලයක් ගත වනු ඇති බව නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත. ඒ අනුව ලබන වසරේ පළමු භාගය වන විට උද්ධමනය 5%ක ඉලක්කය වෙත නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබේ.
මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශ අනුව, 2026 වසරේ ඉතිරි කාලය තුළ ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75% මට්ටමේ ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීළඟ පොලී අනුපාත තීරණය සැප්තැම්බර් 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
“අඩු උද්ධමනය අනාගත ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක්” බව අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා, ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය 4%ත් 5%ත් අතර වර්ධනයක් අත්කර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද පවසා තිබේ.
2022 වසරේදී 7.3%ක ආර්ථික සංකෝචනයකින් පසු යථා තත්ත්වයට පත්වූ ශ්‍රී ලංකා ආර්ථිකය 2024 සහ 2025 වසරවලදී 5%ක වර්ධනයක් වාර්තා කර තිබිණි. මෙම වසරේද සමාන වර්ධනයක් අපේක්ෂා කළද, බාහිර ආර්ථික කම්පනවලින් රට ආරක්ෂා වීමට ගනු ලබන පියවර ආර්ථික වර්ධනයේ වේගයට බලපෑම් කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද මැයි මාසයේ පොලී අනුපාත ඉහළ දැමීම සඳහා සහාය පළ කර ඇති අතර, එහි ඩොලර් බිලියන 2.9ක වැඩසටහන යටතේ ඩොලර් මිලියන 695ක මුදලක් ශ්‍රී ලංකාවට නිකුත් කර තිබේ. එම අරමුදල 2026 වසරේ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 3%ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මේ අතර, ඉරානය සම්බන්ධයෙන් ඇතිවූ ඇමෙරිකානු සහ ඊශ්‍රායල යුද ක්‍රියාමාර්ග හේතුවෙන් බොරතෙල් මිල ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි බලශක්ති ආනයනය කරන රටවලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. ඉන්ධන ආනයන පිරිවැය ඉහළ යාම හමුවේ රජය ඉන්ධන මිල 35%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ දැමීම, ඉන්ධන සලාක ක්‍රමයක් හඳුන්වාදීම සහ රාජ්‍ය මූල්‍ය පීඩනය අවම කිරීම සඳහා බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම ඇතුළු පියවර ගෙන තිබේ.
විදේශ සංචිත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර ඇත. දැනට ඩොලර් බිලියන 6.6ක් පමණ වන දළ විදේශ විනිමය සංචිත වසර අවසානය වන විට ඩොලර් බිලියන 8ක් පමණ දක්වා ඉහළ නැංවීම ඉලක්කය බව ඔහු සඳහන් කර තිබේ.
ඉන්ධන ආනයන පිරිවැය ඉහළ යාම හේතුවෙන් රටේ විදේශ ගෙවුම් ශේෂයට අඛණ්ඩව පීඩනයක් එල්ල වන බැවින්, විදේශ සංචිත ක්‍රමානුකූලව ගොඩනැගීම ප්‍රමුඛතාවක් ලෙස පවතින බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.


