ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තාක්ෂණික සමුළු දෙකක්

2026 “World CIO 200 Awards & Roadshow” වැඩසටහන සහ ජාත්‍යන්තර “Tech Marathon” වැඩසටහන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දින හතරක් පුරා පැවැත්වීමට නියමිත World CIO 200 වැඩසටහන සඳහා රටවල් 50කට අධික සංඛ්‍යාවකින් ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදීන් 400කට වැඩි පිරිසක් සහභාගී වීමට නියමිතය.

ප්‍රධාන තොරතුරු නිලධාරීන්, ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ නායකයන්, නවෝත්පාදකයන්, ආයෝජකයන් සහ ව්‍යාපාරික විධායකයන් ඒ අතර වන බව සඳහන් වේ.

මෙම වැඩසටහන යටතේ ජාත්‍යන්තර සමුළුවක්, නායකත්ව සංවාද, ව්‍යාපාරික ජාලකරණ සැසි, ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන්, ව්‍යාපාරික හමුවීම්, ප්‍රදර්ශනයක් සහ සම්මාන උළෙලක් පැවැත්වීමට නියමිතය.

මීට සමගාමීව ජාත්‍යන්තර “Tech Marathon” වැඩසටහනක්ද පැවැත්වෙන අතර, නවෝත්පාදන, තරුණ සහභාගීත්වය, ක්‍රීඩා සංචාරක කර්මාන්තය සහ ප්‍රජා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණු අතර වේ.

World CIO 200 Awards & Roadshow වැඩසටහන ගෝලීය වශයෙන් සංවිධානය කරනු ලබන්නේ GEC Media Group විසිනි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වැඩසටහන HTP Global Technologies LLC ආයතනය විසින් තමන්ගේම වියදමින් කළමනාකරණය කර මූල්‍ය පහසුකම් සැපයීමට නියමිතය.

මෙම වැඩසටහන් දෙකම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා විදේශ කටයුතු සහ තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

ජාත්‍යන්තර වැඩසටහන් දෙක හරහා ශ්‍රී ලංකාවට ආර්ථික, සංචාරක, ආයෝජන සහ උපායමාර්ගික ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *