ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ China Communications Construction Company Limited හි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අතර හමුවක් අඟහරුවාදා (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
Zhang Bingnan මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස මෙහිදී කොළඹ වරාය නගරය කේන්ද්‍ර කර ගනිමින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ආයෝජන අවස්ථා පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ.
ජනාධිපතිවරයාගේ ඉදිරි දැක්මක් සහිත වැඩපිළිවෙළ සහ ප්‍රතිපත්ති විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ප්‍රධාන සාධකයක් වී ඇති බව නියෝජිතයෝ පෙන්වා දුන්හ.
වත්මන් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ විශ්වාසය පළ කළ ඔවුන්, එම වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ තවත් සැලකිය යුතු ආයෝජන සිදු කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට තම සමාගම පෙළඹී ඇති බව සඳහන් කළහ.
එමෙන්ම පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ හා සැපයුම් කළමනාකරණය සහ ඩිජිටල් සේවා යන ක්ෂේත්‍ර වෙත ආයෝජන පුළුල් කිරීමට ද ඔවුහු කැමැත්ත පළ කළහ.
මෙම ක්ෂේත්රවලින් ශ්‍රී ලංකාව කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට හැකියාව ඇති බවද නියෝජිතයෝ පෙන්වා දුන්හ.
තම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ශ්‍රම බලකායෙන් 90%ක් ශ්‍රී ලාංකිකයන්ගෙන් ලබා ගැනීමට කටයුතු කරන බවට ද නියෝජිතයෝ සහතික වූහ. එමගින් ශ්‍රී ලාංකිකයන් සඳහා සැලකිය යුතු රැකියා අවස්ථා නිර්මාණය වනු ඇතැයි ඔවුහු සඳහන් කළහ.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජ්‍යෙෂ්ඨ අතිරේක ජනාධිපති ලේකම් රොෂාන් ගමගේ, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ඇතුළු China Communications Construction Company Limited සහ එහි අනුබද්ධ සමාගමක් වන CHEC හි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


