මෙරට නිල විදේශ සංචිතය ඩොලර් බිලියන 7 සීමාව පනී

ශ්රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, 2026 ඔක්තෝබර් මස අවසන් වන විට මෙරට දළ නිල විදේශ සංචිතය (Gross Official Reserves) අමෙරිකානු ඩොලර් බිලියන 7.09ක (ඩොලර් මිලියන 7,086ක) මට්ටමකට ළඟා වී තිබේ.
මහ බැංකුව සඳහන් කරන්නේ, ඔක්තෝබර් මස අවසානය වන විට මෙරට පවතින දළ නිල විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 7,086ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති බවයි.
චීන මහජන බැංකුව (People’s Bank of China) සමඟ ඇතිකරගත් ද්විපාර්ශ්වික මුදල් හුවමාරු (Swap) ගිවිසුම යටතේ හිමිවූ විදේශ විනිමයද මෙම සමස්ත සංචිත අගයට ඇතුළත් කර ඇත.
වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 191ක් මිලදී ගනියි
මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසය තුළදී පමණක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ශ්රී ලංකා මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 191ක් මිලදී ගෙන ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
විදේශ සංචිත මට්ටම මෙලෙස ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා වර්ධනය වී තිබුණද, 2026 නොවැම්බර් 06 වැනිදා වන විට වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල සියයට 6.7ක අගය පිරිහීමක් (Depreciation) සටහන් කර තිබේ.
නොවැම්බර් 06 වැනි දින නිකුත් කරන ලද ශ්රී ලංකා මහ බැංකුවේ නිල ආර්ථික දර්ශක වාර්තාවෙහි මෙම නවතම දත්ත ප්රකාශයට පත්කර ඇත.




