Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

වසා දමන්න ගිය සපුගස්කන්දෙන් ඩොලර් මිලියන 417ක ලාභයක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම වසරේ මුල් මාස නවය (09) තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 417ක දැවැන්ත ලාභයක් උපයා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අනාවරණය කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පෙන්වා දුන්නේ, පසුගිය රජය සමයේ කැබිනට් තීරණයක් මඟින් තෙල් සංස්ථාවෙන් වෙන්කර සම්පූර්ණයෙන්ම වසා දැමීමට සැලසුම් කර තිබූ සපුගස්කන්ද පිරිපහදුව, අද වන විට ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බවයි.

එමෙන්ම මෙම මාස නවය තුළ මෙරටට අහිමි වීමට ගිය අමෙරිකානු ඩොලර් බිලියනයකට අධික විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර දීමටද පිරිපහදුව සමත්ව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

තෙල් සංස්ථාවට රුපියල් බිලියන 28ක ලාභයක්

පවතින අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම්සහගතව ක්‍රියාත්මක වීම නිසා, ගතවූ මාස නවය තුළ රුපියල් බිලියන 28ක (රුපියල් කෝටි 2,800ක) ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව සභාපතිවරයා පැවසීය. වසර අවසන් වන විට එම සමස්ත ලාභය රුපියල් බිලියන 28 ත් 30 ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝක තෙල් මිල අඩුවීමේ වාසිය ඉදිරියේදී ජනතාවට

මේ අතර, ලෝක වෙළෙඳපොළේ මෑතකදී සිදුවූ බොරතෙල් මිල පහත වැටීමේ සහනය ඉදිරි කාලය තුළ පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා සහතික විය. දීර්ඝ කාලයක් තිස්සේ ඉහළ ගිය ලෝක තෙල් මිල පහත වැටීම ආරම්භ වූයේ මෑතකදී බැවින්, ඒ පිළිබඳව තෙල් සංස්ථාව දැඩි අවධානයෙන් පසුවන බවත්, එහි ප්‍රායෝගික වාසිය ජනතාවට අනිවාර්යයෙන්ම හිමිවන බවත් ඔහු කීවේය.

පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292 සිට 424 දක්වාත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 281 සිට 397 දක්වාත් ඉහළ ගියද, ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවූ ප්‍රතිශතයට වඩා දේශීය මිල අඩුවෙන් පවත්වා ගැනීමට රජයේ සහනාධාර හේතු වූ බව ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව අප්‍රේල්, මැයි සහ ජූනි මාසවලදී ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනාධාරයක් රජය ලබාදුන් බවත්, පසුගිය මාසයේදී ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් ලබාදුන් බවත් ඔහු හෙළි කළේය. එමෙන්ම වත්මන් මාසය සඳහාද සහනාධාර වෙනුවෙන් රජය රුපියල් බිලියන 41ක් වෙන්කර ඇති අතර, එමඟින් ජනතාව මත පැටවෙන අධික තෙල් බර සැලකිය යුතු ලෙස පාලනය කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඔබේ අදහස