මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය දෙනවා – ජනපති කියයි

සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමට සහතික වී තිබේ.

කොවිඞ් 19 මර්දනයට රජය සැලසුම් සහිතව මාස කිහිපයක් කැපවීමෙන් ක්‍රියා කළේ මැතිවරණය අපේක්ෂාවෙන් නොවන බවත් ජනතාවත් රටත් මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීමට බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (17) සාකච්ඡාවක් පැවැත්වුණු අතර ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පුර්ණ සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවයි.

මෙම තත්ත්වය පිලිබඳව ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවකින් තොරව මැතිවරණයට මුහුණ දිය හැකි බවද මෙහිදී ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබේ.

මැතිවරණයට අදාළ මුලික සැලසුම් සකසා ඇති බවත් නිලධාරින්, ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශව ඊට දායක කර ගන්නා බවත් මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියා.

මහජන රැළිවලට සහභාගිවිය හැකි සංඛ්‍යාව සහ ගෙයින් ගෙට ගොස් සිදුකරන ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිලිබඳව සියලු පාර්ශව වගකීමෙන් ක්‍රියා කිරිම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *