අපේ රටේ ව්‍යවස්ථාව නිර්මාණය කරන විට ජනාධිපතිගේ හෝ අගමැතිගේ බලය අඩු වැඩි වන හැටි ගැන අවධානය යොමු කළද කිසිදිනක ගොවි ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නීති රෙගුලාසි ගෙන ඒමට කටයුතු කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (28) පැවසීය.
“වෙනස මාරයි ගොවියා අනාථයි” මැයෙන් හසලක දී සංවිධාන කර තබූ උද්ඝෝෂණයකට ඊයේ (28) එක් වෙමින් ඒ මහතා මේබව කීවේය.
තමන් ගෙන එන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණවලට ගොවියා සුරක්ෂිත කරන මූලික අයිතිවාසිකම් අන්තර්ගත කරන බවත් පාලකයන්ට හිතු මනාපයට රටේ ගොවිජනතාව සමඟ සෙල්ලම් කිරීමට ඉඩ නොතබන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
එවිට වර්තමානයේ මෙන් ප්‍රමිතියකින් තොර පොහොර රටට එන්නේ නැති බවත්, නැනෝ නයිට්රජන් වංචාවත් සිදු නොවන බවත්, යම් හෙයකින් ගොවියාට අසාධාරණයක් වුව හොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අබියසට ගොස් පිළිසරණක් ගත හැකි බවත් ඒ මහතා පැවසීය.