මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා මානසික රෝගයකින් පෙළෙන බවට ප්‍රකාශ කළ සභානායක බිමල් රත්නායක මහතා, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවිය යුතු බව ඉල්ලා සිටියේය.
“මන්ත්‍රී අර්චුනා මහතා අඛණ්ඩවම අශෝභන ආකාරයෙන් හැසිරෙනවා. ඔහු මානසික රෝගයකින් පෙළෙන බව අප දැන සිටි නිසා මෙතෙක් කාලයක් අපි එය ඉවසා සිටියා. නමුත් මේ ආකාරයේ අශිෂ්ට හැසිරීම් තවදුරටත් ඉවසිය නොහැකියි. එබැවින් ස්ථාවර නියෝග අනුව මෙවැනි මන්ත්‍රීවරුන්ගේ කටයුතු අත්හිටුවිය යුතුයි,” යැයි බිමල් රත්නායක මහතා පැවසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කථානායකවරයාට හෝ වෙනත් කිසිවෙකුට මන්ත්‍රීවරයෙකුට අපහාස කිරීමට හැකියාවක් නොමැති බවයි.
ඔහු අවධාරණය කළේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නියමිත ක්‍රියා පටිපාටි සහ ගෞරවනීය භාවය ආරක්ෂා කළ යුතු බවයි.


