භාණ්ඩවල මිල වෙනස් කළ අලෙවි කල සමාගම් සහ වෙළඳ ආයතන රැසකට නඩු…

කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී වැටලීම් ඒකකය විසින් භාණ්ඩවල මිල වෙනස් කිරීම සම්බන්ධව දිවයිනේ ප්‍රසිද්ධ සමාගම් ඇතුලු වෙළඳ ආයතන ගණනාවකට එරෙහිව පසුගිය දිනවල නීත්‍යානුකූලව කටයුතු සිදු කොට ඇති අතර ඒ සම්බන්ධව නඩු පැවරීමට නියමිතව ඇත.

ඒ අතර මිල වෙනස් කරන ලද විදුලි උපාංග අළෙවි කිරීම සම්බන්ධව ඕරල් කෝපරේෂන් පුද්ගලික සමාගමට ද, මිල වෙනස් කරන ලද බේබි පැම්පස් අලෙවි කිරීම සම්බන්ධව මර්වල් මාර්කටින් පුද්ගලික සමාගමට ද, මිල වෙනස් කරන ලද ජම්බෝ පීනට්ස් අලෙවි කිරීම සම්බන්ධව රේඩියන්ට් මාර්කටින් පුද්ගලික සමාගමට ද, මිල වෙනස් කරන ලද ටිෂූ වර්ග අලෙවි කිරීම සම්බන්ධව පී. බී. මැනේජ්මන්ට් සර්විස් පුද්ගලික සමාගමට ද, මිල වෙනස් කරන ලද උපකරණ අයිතම අලෙවි කිරීම සම්බන්ධව PE ප්ලස් පුද්ගලික සමාගමට ද, තීන්ත ඇසුරුම් වල මිල වෙනස් කිරීම සම්බන්ධව වෙළඳ ආයතන ගණනාවකට ද, විවිධ නිෂ්පාදන වල මිල වෙනස් කිරීම සම්බන්ධව සුපිරි වෙළඳසැල් ඇතුලු තවත් වෙළෙඳ ආයතන ගණනාවකට මෙලෙස නීත්‍යානුකූලව කටයුතු සිදු කොට ඇති බව වාර්තා වේ.

පසුගිය කාලසීමාව තුළ ඩොලරයේ ඉහළ යාම සහ ආනයනික වියදම් ඉහළ යාම මත මෙලෙස මිල වෙනස් කිරීමට සිදු වූ බව සමහර සමාගම් විසින් ප්‍රකාශ කළ ද, අදාල භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කිරීමට ප්‍රථම ආනයනික වියදම් ඇතුළු සියලු පිරිවැය ගණනය කිරීමෙන් පසු නිවැරදි මොහොතේ මිල ලකුණු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා හෝ අසාධාරණ ලාභ ඉපයීමේ අරමුණින් මෙලෙස මිල වෙනස් කිරීම් සිදු කොට ඇති බවත්, ආනයනික වියදම් පාලනය කළ නොහැකි නමුත් සියලු වියදම් ගණනය කිරීමෙන් පසු අදාල භාණ්ඩ වෙළෙඳ පොළට නිකුත් කරන අවස්ථාවේදී මිල ලකුණු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නම් මිල වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මතු නොවන බවත් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ.යූ.රන්ජන මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක, පුංචිහේවා, අරවින්ද ශාලික, ධනුක ගුණරත්න යන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් උක්ත වැටලීම් සිදු කොට ඇති අතර දිස්ත්‍රික්කය පුරා තවදුරටත් අඛණ්ඩව මෙවැනි විමර්ශන ක්‍රියාත්මක බවත් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *