විදෙස් සංචිත ඩොලර් බිලියන 9ක් දක්වා ඉහළ නැංවීමට රජයට විශ්වාසයි

2026 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 9ක් දක්වා ඉහළ නැංවීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණවල ධනාත්මක වර්ධනය මෙම ඉලක්කය සපුරා ගැනීමට ප්‍රධාන වශයෙන් දායක වන බව ඔහු සඳහන් කළේය.

මෙම වසරේ පළමු මාස හත තුළදී ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් බිලියන 5කට වැඩි මුදලක් මෙරටට එවා ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. විදේශ රැකියා ක්ෂේත්‍රය රටේ බාහිර මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ මන්ත්‍රී රවි කරුණානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රනාන්දු පැවසුවේ ආයෝජන, අපනයන සහ විදෙස් ප්‍රේෂණ හරහා රටට ලැබෙන ශුද්ධ විදේශ විනිමය ප්‍රවාහය ඉහළ නැංවීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බවයි.

විශේෂයෙන්ම 2028 වසරේදී ගෙවීමට සිදුවන විශාල විදේශ ණය ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්, විදේශ විනිමය ලැබීම් විවිධාංගීකරණය කිරීමට සහ වැඩි සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමට පියවර ගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

2028 අප්‍රේල් මාසයේදී පමණක් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3.9කට ආසන්න ණය ගෙවීම් සිදු කිරීමට ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එම අභියෝගයට මුහුණදීම සඳහා සාම්ප්‍රදායික නොවන ක්ෂේත්‍ර හරහා විදේශ ආදායම් ඉහළ නැංවීම සඳහා මූල්‍ය උපායමාර්ග සකස් කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම වැඩි ආදායමක් උපයාගත හැකි ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ක්ෂේත්‍ර වෙත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කිරීමටද සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම පියවර මගින් අනාගත විදේශ ණය වගකීම් පියවීමට හැකි වන අතරම වඩාත් ශක්තිමත් සහ විවිධාංගීකරණය වූ බාහිර ආර්ථික අංශයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *