මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකුට අයත් කහතුඩුව මූණමලේවත්ත ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් කෝටි දහයකට ආසන්න වටිනාකමින් යුත් දේපොළ තම භාරයට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
ලද තොරතුරු මත සිදුකළ විමර්ශණයේදී මෙම දේපොළ උපයා ගත් ආකාරය පිළිබදව හෙළිදරව් කිරීමට අදාළ නිවසේ හිමිකාරිය අසමත් වූ බැවින් එම කාන්තාව ද අත්අඩංගුවට ගත් බව එම කොට්ඨාසය පැවසීය.
ඒ අනුව කහතුඩුව මූණමලේවත්ත ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක්, සූඛෝපභෝගී මෝටර් රථයක්, ඉඩම් දෙකක් සහ කිරිවත්තුඩුව ඉරිදාපොළ ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් ද තම භාරයට ගත් බව එම ඒකකය කීය.
මෙම දේපොළවල හිමිකරු බව කියන බන්ධනාගාර ගතව සිටින රැඳවියා යුධ හමුදා සේවයේ යෙදී සිට ඇති බවත් එහිදී ඇතිවූ ගැටලුවක් මත වැඩතහනමට ලක්වී පෙදරේරු රැකියාවක නිරතව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම් කර කෙටි කාලයක් තුළදී මෙම දේපොළ උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.