බ්රසීලයේ නව ජනාධිපති ලෙස තේරී පත්වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතා, සිය ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එවූ සුබපැතුම් පණිවුඩයට ප්රතිචාර දක්වමින්, ශ්රී ලංකාව සහ බ්රසීලය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම හා තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ප්රකාශ කර තිබේ.
X සමාජ මාධ්යයේ පළ කළ පණිවුඩයකින් ලූලා මහතා, මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාව සිහිපත් කරමින්, දෙරට අතර සබඳතා තවදුරටත් ගැඹුරු කර ගැනීමට ඇති අවස්ථාව පිළිබඳව සිය සතුට පළ කළේය.
“මගේ ආදරණීය අනුර දිසානායක, මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී ඔබ හමුවීම සතුටක්,” යැයි ලූලා මහතා සඳහන් කළේය.
තම මැතිවරණ ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් බ්රසීල ජනාධිපතිවරයා කියා සිටියේ, වැරදි තොරතුරු ප්රචාරය කිරීම සහ අන්තවාදය හමුවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ හැකි බව බ්රසීල ජනතාව පෙන්වා දී ඇති බවයි.
“වැරදි තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ හැකි බව බ්රසීල ජනතාව පෙන්වා දුන්නා. එය විශිෂ්ට ජයග්රහණයක්! අපේ රටවල් අතර තාක්ෂණික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික වෙළෙඳාම තවදුරටත් පුළුල් කර ගැනීමට හැකි වෙතැයි මම බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මීට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ලූලා මහතාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබිණි. එම ප්රතිඵලය දූෂණය, බෙදීම් සහ දේශපාලනික අසත්ය ප්රචාරවලට එරෙහි ජයග්රහණයක් ලෙස ඔහු එහිදී විස්තර කළේය.
“අද බ්රසීල ජනතාව ජයග්රහණය කළේ මැතිවරණයක් පමණක් නොවෙයි. ඔවුන් දූෂණයේ, බෙදීම්වල සහ දේශපාලනික බොරු ප්රචාරවල බලවේග පරාජය කළා,” යැයි ජනාධිපතිවරයා X සමාජ මාධ්යයේ සටහන් කර තිබිණි.
ලූලා මහතාගේ ජයග්රහණය ඓතිහාසික එකක් ලෙස ද හැඳින්වූ ජනාධිපති දිසානායක මහතා, දේශපාලන පරම්පරාවලට සහ අතීතයේ බලවේගවලට ජනතාව නොමඟ යැවිය නොහැකි බව එම ජයග්රහණයෙන් පෙන්නුම් කරන බව සඳහන් කළේය.
“ප්රගතියේ ගමනට නැවතත් නායකත්වය දීම වෙනුවෙන් ඔබට හෘදයාංගම සුබපැතුම්, සහෝදරයා!” යැයි ජනාධිපති දිසානායක මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.



