බන්ධනාගාර රැඳවියන් සතු තහනම් භාණ්ඩ සුද්ද කරන්න සතියක් කල් දෙයි

සියලුම බන්ධනාගාර සෝදිසි කර සතියක් තුළ තහනම් භාණ්ඩ සිය භාරයට ගන්නැයි බන්ධනාගාර මූලස්ථානය, බන්ධනාගාර අධිකාරිවරුන්ට නියෝග කර තිබේ. එමෙන්ම රැඳවියන් රඳවා සිටින වාට්ටු අදාළ බන්ධනාගාරවල සේවය කරන විනයගරුක නිලධාරීන් පමණක් යොදවා සෝදිසි කිරීම් සිදුකළ යුතු බවටයි බන්ධනාගාර අධිකාරිවරුන්ට උපදෙස් ලබාදී ඇත්තේ. රැඳවියන් සතුව පවතින ජංගම දුරකතන, මත්ද්‍රව්‍ය සහ තහනම් භාණ්ඩ සොයා මෙම සෝදිසි මෙහෙයුම් ආරම්භ කරන ලෙස මෙලෙස නියෝග කර තිබේ.

මේ අතර මාතර බන්ධනාගාර නිලධාරීන් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රැඳවියෙකු රඳවා සිටි වාට්ටුවක තිබි ජංගම දුරකතනයක්ද සොයාගෙන තිබේ. එම බන්ධනාගාරයේ D වාට්ටුවේ රඳවා සිටින අදාල රැඳවියාගේ කලිසමක සඟවා ගෙන සිටියදී එම ජංගම දුරකතනය සොයා ගැණුනා. වැඩිදුර විමර්ශනය කිරීමේදී හෙළි වී ඇත්තේ එම බන්ධනාගාරයේම සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකු හරහා මෙම ජංගම දුරකතනය අදාල රැඳවියාට ලබාදී ඇති බවත්, එම ජංගම දුරකතනය අදාල රැඳවියාට ලබාදීම සඳහා බන්ධනාගාර නියාමකවරයා විසින් රුපියල් 15,000 ක මුදලක් ලබාගෙන ඇති බවටයි. අදාළ නිළධාරියා මේ වනවිට වැඩතහනමට ලක්කර තිබේ.

එමෙන්ම බන්ධනාගාර කිහිපයක ප‍්‍රධාන ජේලර්වරුන් කිහිපදෙනෙකු ඉදිරියේදී ස්ථාන මාරුකිරීමට ද නියමිතව තිබේ. ඉකුත් සතියේ බන්ධනාගාර අධිකාරිවරුන් 23 දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට ස්ථාන මාරු කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *