බදියුදීන්ගේ සහෝදරයා සහරාන්ට ඉන්දියාවට පළායාමට උදව් දුන් බව හෙළිවේ

පාස්කු ඉරුදින එල්ලවූ බෝම්බ ප්‍රහාරයේ සැලසුම් කළ සහරාන් ශෂීම්ට ඉන්දියාවට බෝට්ටුවෙන් පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා උපකාර කර ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ තොරතුරු අනාවරණය වී තිබේ.

හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයෙක් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් මේ පිළිබඳව අනාවරණය කර ඇති බව වාර්තා වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයෙක් ඊයේ (22) දිනයේ සාක්ෂි ලබාදීම සිදු කළ අතර එහිදී මේ පිළිඹද අනාවරණය වී තිබේ. අදාළ නිලධාරියා අද අලුයම එක පමණ වන තුරු එම සාක්ෂි ලබා දීම සිදුකළ බවටද වාර්තා වේ.

අදාළ බුද්ධි අංශ නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ 2018 වර්ෂයේ දී සහරාන් හෂීම් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළාගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බවත්, ඊට සහය ලබා දී ඇත්තේ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවවේ පසුවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුදීන් බවත්ය.

රිෆ්කාන් බදියුදීන් මිනිස් ජාවාරම ඇතුළු ජාවාරම් රැසක් සිදුකර ඇති බවට ද බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *