පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීමේ පද්ධතිය තාවකාලිකව අක්‍රියයි: අයදුම්කරුවන්ට අතුරු ක්‍රමවේදයක්

පොලිස් නිෂ්කාශන සහතික නිකුත් කිරීම සඳහා භාවිත කරන දත්ත පද්ධතිය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව අක්‍රිය කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කර තිබේ.

ඒ අනුව, පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් අයදුම්කරුවන් සඳහා අතුරු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත.

තාවකාලික ක්‍රමවේදය යටතේ බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වැනි මහලේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශය මගින් අයදුම්පත් භාරගැනීම සහ සහතික මුද්‍රණය කිරීමේ කටයුතු සිදුකරනු ලබන බව පොලිසිය සඳහන් කළේය.

අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වෙත පිවිස “Download Application” යන විකල්පය හරහා අයදුම්පත්‍රය බාගත කරගත හැකිය.

අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමෙන් පසු එය ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් සමඟ clear.application@police.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතුය.

මෙම අවස්ථාවේදී කිසිදු ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවද පොලිසිය දැනුම් දී තිබේ.

පද්ධතිය යළි සක්‍රීය කිරීමෙන් පසු, මෙම අතුරු ක්‍රමවේදය යටතේ අයදුම් කළ සියලුම අයදුම්කරුවන් නැවත මාර්ගගත පද්ධතිය හරහා අයදුම්පත් ඉදිරිපත් කර අදාළ ගාස්තු ගෙවිය යුතුය.

මේ අතර, දැනටමත් අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් සම්බන්ධයෙන් පොලිස් නිෂ්කාශන වාර්තා නිකුත් කළ හැකි අයගේ යොමු අංක නිල වෙබ් අඩවියේ පළ කරන බව පොලිසිය සඳහන් කළේය.

එම යොමු අංක පළ කර ඇති අයදුම්කරුවන්ට බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පොලිස් නිෂ්කාශන අංශයෙන් සිය සහතික ලබාගත හැකිය.

සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී පවා සහතික ලබාගැනීම සඳහා පහසුකම් සලසා ඇති බවද පොලිසිය සඳහන් කළේය.

යොමු අංක නිල වෙබ් අඩවියේ පළ නොවන අයදුම්කරුවන්ගේ නිෂ්කාශන වාර්තා පද්ධතිය යළි සක්‍රීය කිරීමෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

පද්ධතිය හැකි ඉක්මනින් යළි සක්‍රීය කිරීම සඳහා තාක්ෂණික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය තහවුරු කර තිබේ.

සේවාව යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ වහාම ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරන බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සහතික වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *