Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පුද්ගල ආදායම් බදු සීමාව ඉහළට: බදු ප්‍රතිශතයන් වෙනස් වන අලුත්ම හැටි මෙන්න

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

වැටුප් සහ දීමනා ලබන සේවකයින් ඇතුළු සමස්ත ආදායම් බදු ගෙවන්නන් හට සුවිශේෂී සහනයක් සලසමින්, මාසික පුද්ගල ආදායම් බද්දෙන් නිදහස් සීමාව රුපියල් 150,000 සිට රුපියල් 162,500 දක්වා ඉහළ දැමීමට රජය 2027 අයවැය මඟින් යෝජනා කර තිබේ.

පාර්ලිමේන්තුව විසින් නිකුත් කරන ලද නිල අයවැය කතාවට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් දීමනාව රුපියල් මිලියන 1.8 සිට රුපියල් මිලියන 1.95 (රුපියල් ලක්ෂ 19.5) දක්වා ඉහළ නැංවීමට මෙලෙස යෝජනා කර ඇත. ඒ අනුව මාසික වැටුප් සහ දීමනා රුපියල් 162,500ක් දක්වා උපයන කිසිදු පුද්ගලයෙකුට සිය වැටුප මත ආදායම් බදු ගෙවීමට සිදු නොවනු ඇත.

බදු කාණ්ඩ සහ අනුපාත පුළුල් කෙරේ

මෙවර අයවැය කතාව මඟින් පුද්ගල ආදායම් බදු ව්‍යුහයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ද යෝජනා කර තිබේ. ඒ අනුව බදු කාණ්ඩ (Tax brackets) පුළුල් කරමින්, මූලික සියයට 6% බදු කාණ්ඩයෙන් පසුව දැනට පවතින සියයට 18% බදු අනුපාතය වෙනුවට අලුතින් සියයට 12% බදු කාණ්ඩයක් හඳුන්වා දීමට යෝජිතය.

නව යෝජිත බදු අනුපාත ක්‍රියාත්මක වන්නේ 6%, 12%, 18%, 24%, 30% සහ 36% වශයෙනි.

එමෙන්ම, උපරිම පුද්ගල ආදායම් බදු අනුපාතය (36%) අදාළ වන මාසික ආදායම් සීමාවද රුපියල් 358,000 සිට රුපියල් 433,000 දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇත.

මාසිකව රුපියල් 15,750ක් දක්වා අමතර සහනයක්

මෙම නව බදු සංශෝධන හරහා පුද්ගල ආදායම් බදු ගෙවන්නන් හට ඔවුන්ගේ බදු අය කළ හැකි ආදායම මත පදනම්ව මාසිකව රුපියල් 750 සිට රුපියල් 15,750 දක්වා අමතර මූල්‍ය බදු සහනයක් හිමිවන බව අයවැය කතාවේ දැක්වේ.

තවද 2025 වසරේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ සමඟ ඒකාබද්ධව සලකා බලන විට, තනි පුද්ගල බදු ගෙවන්නන් වෙත ලැබෙන සමස්ත මාසික බදු සහනය රුපියල් 4,250 සිට රුපියල් 36,250 දක්වා පරාසයක පවතිනු ඇත. දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේ රජයේ සැලසුමේ කොටසක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම යෝජනා, ඉදිරි නීති සම්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව බලාත්මක වීමට නියමිතය.

ඔබේ අදහස