දරුවන්ගේ පොත්පත්වලට අයවැයෙන් ලොකු සහනයක්: සිනමා ප්‍රවේශපත්‍ර බද්දත් වෙනස් වෙයි

අධ්‍යාපනික ද්‍රව්‍ය සහ පොත්පත් දරුවන්ට සහ දෙමව්පියන්ට වඩාත් දැරිය හැකි මිලකට ලබාගැනීමේ පහසුව සැලසීමේ අරමුණින්, පාසල් අභ්‍යාස පොත්, පෙළපොත් ඇතුළු මුද්‍රිත අධ්‍යාපනික ද්‍රව්‍ය රැසක් මත පනවා තිබූ එකතු කළ අගය මත බද්ද (VAT) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය 2027 අයවැය මඟින් යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නිල අයවැය කතාවට අනුව, අභ්‍යාස පොත්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අනෙකුත් මුද්‍රිත පොත් වැට් බද්දෙන් නිදහස් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යෝජනා කර ඇත.
මුද්‍රිත පොත් සහ ප්‍රකාශන 2024 ජනවාරි මාසයේ සිට වැට් බද්දට යටත් කෙරුණු අතර, අභ්‍යාස පොත් ඊටත් පෙර සිටම වැට් බද්දට යටත්ව පැවතිණි. අත්‍යවශ්‍ය අධ්‍යාපනික ද්‍රව්‍ය මත පැවති බදු බර අඩුකිරීම හරහා දැනුම, කියවීම සහ අධ්‍යාපනය වෙත ඇති ප්‍රවේශය පුළුල් කිරීම මෙම පියවරේ මූලික අරමුණ බව ජනාධිපතිවරයා පැවසීය.
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට ගෙන එන යෝජිත සංශෝධන යටතේ, අදාළ පොත්පත්, ශබ්දකෝෂ, ළමා පින්තූර පොත්, තනි පත්‍රවල මුද්‍රිත ද්‍රව්‍ය සහ මුද්‍රිත සංගීත සටහන් (Printed music) ආනයනය කිරීම සහ සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ.
සිනමා ප්‍රවේශපත්‍ර බදු ක්‍රමයත් වෙනස් කෙරේ
මේ අතර, සිනමා ප්‍රවේශපත්‍ර සඳහා වැට් බදු ගණනය කිරීමේ ක්‍රමවේදයේද වෙනස්කම් සිදුකිරීමට අයවැයෙන් යෝජනා කර ඇත. සංශෝධිත ක්‍රමය යටතේ සම්පූර්ණ ටිකට්පත් වටිනාකම මත බදු අයකිරීම වෙනුවට, චිත්‍රපට නිෂ්පාදකයින්, බෙදාහරින්නන්, ජාතික චිත්‍රපට සංස්ථාව සහ සිනමාහල් හිමියන් විසින් ටිකට්පත් ආදායමෙන් තමන්ට හිමිවන කොටස මත පමණක් වැට් බදු ගෙවීමට බැඳී සිටිනු ඇත.
වැට් නිදහස් කිරීම් ඉවත් කිරීම් සහ ක්‍රියාත්මක වන දිනය
මීට අමතරව, ආටීමියා බිත්තර (Artemia eggs) සහ කොහුබත් (Coconut coir pith) සඳහා දැනට පවතින වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීමටද රජය යෝජනා කර තිබේ. අලුතින් ලියාපදිංචි වන අපනයනකරුවන් සඳහා වැට් ක්‍රියාවලිය සරල කිරීමටත්, විදේශ මුදලින් සිදුකරන ගනුදෙනු සඳහා වැට් ගණනය කිරීමේදී මහ බැංකුවේ දර්ශක විනිමය අනුපාතය භාවිත කිරීමටත් පියවර ගැනේ.
අයවැය ආදායම් ඇස්තමේන්තුවලට අනුව, මෙම වැට් බදු සංශෝධන හේතුවෙන් රජයේ ආදායම රුපියල් බිලියන 2.975කින් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙම නව සංශෝධන 2027 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.




