Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

2027 දී අධිවේගී මාර්ග හදන්න කෝටි 11,730ක්

Siribopura flyover, Hambantota
බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

2027 වසර තුළ දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ප්‍රධාන අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් වෙනුවෙන් රුපියල් මිලියන 117,300ක (රුපියල් කෝටි 11,730ක) දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන්කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය මඟින් යෝජනා කර තිබේ.

ඊයේ (12) පාර්ලිමේන්තුව හමුවේ 2027 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අන්දමට, ප්‍රධාන අධිවේගී මාර්ග කොටස් සඳහා මුදල් වෙන්කර ඇති ආකාරය සහ ඒවායේ ඉදිකිරීම් නිමකිරීමට ඉලක්ක කර ඇති දිනයන් මෙසේය:

  • කඩවත – මීරිගම කොටස (මධ්‍යම අධිවේගී මාර්ගය): රුපියල් මිලියන 53,450ක් වෙන්කර ඇති අතර, 2028 සැප්තැම්බර් මාසය වන විට වැඩ නිමකිරීමට ඉලක්ක කර ඇත.

  • පොතුහැර – රඹුක්කන කොටස (මධ්‍යම අධිවේගී මාර්ගය): රුපියල් මිලියන 4,500ක් වෙන්කර ඇති අතර, 2027 මැයි මාසය වන විට ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

  • රඹුක්කන – ගලගෙදර කොටස (මධ්‍යම අධිවේගී මාර්ගය): රුපියල් මිලියන 2,350ක් වෙන්කර ඇති අතර, 2029 ජූලි මාසය වන විට වැඩ අවසන් කිරීම ඉලක්කය වේ.

  • කුරුණෑගල – ගලේවෙල කොටස (කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය): මෙහි පළමු අදියර සංවර්ධනය සඳහා රුපියල් මිලියන 30,000ක් වෙන්කර ඇත.

  • කහතුඩුව – ඉංගිරිය කොටස (රුවන්පුර අධිවේගී මාර්ගය): රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 27,000ක් වෙන්කිරීමට යෝජනා කර තිබේ.

මෙම අයවැය ප්‍රතිපාදන හරහා දිගු කලක් ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ගය ඇතුළු ජාතික ප්‍රවාහන ජාලයේ ප්‍රධාන ව්‍යාපෘති කඩිනමින් නිමකර රටේ ආර්ථික හා ප්‍රවාහන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.

ඔබේ අදහස