Friday, 13 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

රුවන්වැලිසෑය අභියස ගැටුමෙන් හිමිවරුන් සිව්නමක් ඇතුළු 8ක් අත්අඩංගුවට

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පැවති උපවාස භූමියේ හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකින් අනතුරුව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක් සහ ගිහි පුද්ගලයින් සිව්දෙනෙකු ඇතුළු අටදෙනෙකු (08) පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී (ASP) එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, ඊයේ (නොවැම්බර් 12) සිදුවූ මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා සිව්නමක්, එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඇතුළත් වන බවයි.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබූ, රුවන්වැලි මහා සෑයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට පිහිටි රථගාලේදී මෙම නොසන්සුන්තාව හටගෙන ඇත.

පූජ්‍ය රාජාංගණේ සද්ධාතිස්ස හිමියන් රෝහල්ගත කෙරේ

පූජ්‍ය රාජාංගණේ සද්ධාතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් උපවාසය පැවති ස්ථානයට පැමිණීමෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් තත්ත්වයක් සහ ගැටුමක් නිර්මාණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ, එම ගැටුම අතරතුරදී පූජ්‍ය රාජාංගණේ සද්ධාතිස්ස හිමියන්ගේ හිසට තුවාල සිදුව ඇති අතර, උන්වහන්සේ මේ වන විට ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරයි.

ඔබේ අදහස