පාකිස්තානයේ කොළ තණතීරු අපිට බයක් නෑ”: කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රකාශයක්

පාකිස්තානයේ සකස් කර ඇති වේගපන්දු යවන්නන්ට හිතකර තණකොළ සහිත තණතීරුවල (Green pitches) සාර්ථකව පිතිකරණයේ යෙදීමට තම කණ්ඩායමට පූර්ණ හැකියාව පවතින බවත්, ජ්‍යෙෂ්ඨ පිතිකරුවන්ගේ අත්දැකීම් සහ කණ්ඩායමේ සමබරතාවය ඉදිරි ටෙස්ට් තරගාවලියේදී තීරණාත්මක වනු ඇති බවත් ශ්‍රී ලංකා ටෙස්ට් නායක කුසල් මෙන්ඩිස් පවසයි.
පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයට පෙර පැවති මාධ්‍ය හමුව අමතමින් නායක කුසල් මෙන්ඩිස් සඳහන් කළේ, අභියෝගාත්මක තණතීරු තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය මැනවින් සන්නද්ධව සිටින බවයි.
“මගේ පිතිකරණ බලඇණිය ගැන මට කිසිදු සැකයක් නෑ. විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා වැනි අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අපට ඉන්නවා. අපේ පිතිකරුවන්ට මෙවැනි කොළ තණතීරුවල ක්‍රීඩා කර හොඳ පළපුරුද්දක් තියෙනවා වගේම එංගලන්තයේදීත් ඔවුන් එවැනි තත්ත්වයන් යටතේ දස්කම් දක්වා තිබෙනවා,” යනුවෙන් නායකයා පැවසීය.
ටෙස්ට් නායකත්වයේ අලුත් අභියෝගය
එක්දින සහ විස්සයි20 තරග රටාවන්ට වඩා දීර්ඝතම තරග රටාව වන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමකට නායකත්වය ලබාදීම වෙනස්ම ආකාරයේ අභියෝගයක් බව පැවසූ මෙන්ඩිස්, ක්‍රීඩකයින් බහුතරයක් වඩාත් ප්‍රිය කරන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ වගකීම භාරගැනීමට ලැබීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර සූදානම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ක්‍රීඩකයින් මාසයකට වැඩි කාලයක් පාකිස්තානය තුළ රැඳී සිටිමින් පුහුණුවීම්වල නිරත වූ බවයි. දීර්ඝ කාලයක් හෝටල් කාමර සහ පුහුණු මධ්‍යස්ථානවලට පමණක් සීමාවී සිටීම යම් අභියෝගයක් වුවද, ක්‍රීඩකයින් සාමූහික ක්‍රියාකාරකම් ඔස්සේ කණ්ඩායම තුළ ඉතා ධනාත්මක මානසික පරිසරයක් පවත්වාගෙන ගිය බව ඔහු කීවේය.
සමබර පන්දු යැවීමේ බලඇණියක්
කණ්ඩායමේ පිතිකරණය මෙන්ම පන්දු යැවීමේ අංශය පිළිබඳවද දැඩි විශ්වාසය පළකළ ශ්‍රී ලංකා නායකයා, පළමු පෙළ සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ පළපුරුද්දක් ඇති ක්‍රීඩකයින්ගෙන් සමන්විත සමබර පන්දු යැවීමේ බලඇණියක් කණ්ඩායම සතුව පවතින බව සඳහන් කළේය.
මෑතකාලීන තරග සංචාරවලදී සහ සීමිත පන්දුවාර තරගවලදී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දැක්වූ විශිෂ්ට දක්ෂතා මෙහිදී ඇගයීමට ලක්කළ කුසල් මෙන්ඩිස්, පළමු ටෙස්ට් තරගය සඳහා සමස්ත සංචිතයම පූර්ණ සූදානමින් පසුවන බව පැවසීය. එමෙන්ම පාකිස්තානය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ලබාදුන් උසස් ආගන්තුක සත්කාරය සහ ආරක්ෂක විධිවිධාන පිළිබඳවද නායකයා සිය කෘතඥතාව පළකළේය.




