හමුදාවෙන් අස්වූ වෙඩික්කරු ඇතුළු තිදෙනෙක් මිනීමැරුමට කොටුවෙයි

උප්පුවේලි, කප්පල්තුරෙයි ප්‍රදේශයේදී කුලී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි මගීන් දෙදෙනෙකු ඉලක්ක කර එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය (STF) සහ පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය නොවැම්බර් 02 වැනිදා රාත්‍රී කාලයේදී කප්පල්තුරෙයි හන්දිය දෙසට ධාවනය වෙමින් තිබූ කුලී ත්‍රිරෝද රථයක පසුපස අසුනේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර නොහඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණි. ප්‍රහාරයෙන් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලැබීය. වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා එම ස්ථානයෙන් පලාගොස් තිබිණි.
උප්පුවේලි පොලිසිය සහ මාතර විශේෂ කාර්ය බලකා (STF) කඳවුරේ නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ විමර්ශනයකදී ලද තොරතුරකට අනුව, පසුගිය නොවැම්බර් 06 වැනිදා රාත්‍රියේ දික්වැල්ල ප්‍රදේශයේදී ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගැනීමට STF නිලධාරීහු සමත් වූහ. මිනීමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ඔහුව වැඩිදුර විමර්ශන සඳහා උප්පුවේලි පොලිසිය වෙත භාරදී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ හසුවූ සෙසු සැකකරුවන්
මේ අතර, සිද්ධිය වූ නොවැම්බර් 02 වැනිදා ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32යි මිලිග්‍රෑම් 800ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් රඳවා ගැනීමේ නියෝග මත සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, ඔවුන්ද මෙම වෙඩි තැබීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බව අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 24, 28 සහ 34 යන වයස්වල පසුවන දික්වැල්ල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරු මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වූ අයෙකු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් උප්පුවේලි පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.




