Wednesday, 4 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

පද්ධති බිඳවැටීම් මැද TIN අර්බුදය උග්‍ර වෙයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතික ලබාගැනීම සඳහා දිවයින පුරා පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු (IRD) කාර්යාල ඉදිරිපිට ඊයේ (03) දිනයේද දැඩි තදබදයක් සහ දිගු පෝලිම් පැවති අතර, ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව වාර්තා වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට විශාල ජනකායක් පෝලිම්වල රැඳී සිටි අයුරු දක්නට ලැබුණු අතර, සහතික ලබාගැනීමේදී සිදුවන දැඩි ප්‍රමාදයන් සහ පරිපාලනමය ගැටලු පිළිබඳව ජනතාව සිය දැඩි කනස්සල්ල පළ කළහ.

අලුයම සිට පෝලිම්වල රැඳී සිටියද වැඩක් කරගත නොහැකි වූ බව ඇතැම් අයදුම්කරුවන් පැවසූ අතර, තවත් පිරිසක් සඳහන් කළේ දින ගණනාවක් තිස්සේ පැමිණියද සිය කටයුතු අවසන් කරගැනීමට නොහැකි වූ බවයි. පරිගණක පද්ධතියේ හටගත් බිඳවැටීම් (System breakdowns) හේතුවෙන් පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටියද ඊයේ දිනයේ TIN සහතික ලබාගැනීමට නොහැකි වූ බවටද චෝදනා එල්ල විය.

වැස්සේ තෙමෙමින් රැකියා නිවාඩු දමා පෝලිමේ

තමන් රැකියාවලින් නිවාඩු ලබාගෙන කාර්යාල වෙත පැමිණියද, විවිධ අතිරේක ලියකියවිලි ඉල්ලමින් හෝ වෙනත් දිනයක පැමිණෙන ලෙස පවසමින් නිලධාරීන් තමන්ව ආපසු හරවා යැවූ බවට ජනතාව චෝදනා කළහ. පවතින වැසි සහිත අයහපත් කාලගුණය නොතකා දිගු පෝලිම්වල දුක් විඳීමට සිදුවීම පිළිබඳව දැඩි කෝපය පළකළ ජනතාව, මෙම පීඩාවට වහාම විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

වාහන ආදායම් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර ලබාගැනීම ඇතුළු ප්‍රවාහන සේවාවන් රැසකට TIN සහතිකය අනිවාර්ය කර ඇති පසුබිමක, මෙම සහතික ලබාගැනීමේ ප්‍රමාදය නිසා තම දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩපණ වී ඇති බවට ඇතැම් පිරිස් රජයට දෝෂාරෝපණය කළහ.

“අපි වත්මන් ආණ්ඩුව පත්කරන්න ඡන්දය දුන්නේ මෙහෙම පෝලිම්වල රස්තියාදු වෙන්න නෙවෙයි. මේ පරිපාලන අවුලට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වහාම සෘජුව මැදිහත් විය යුතුයි,” යනුවෙන් පෝලිමේ සිටි පුද්ගලයෙකු දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කළේය.

මහජනතාව දිගින් දිගටම මෙලෙස පීඩාවට පත්වීම රජය කෙරෙහි පවතින ජනතා අප්‍රසාදය සීඝ්‍රයෙන් වර්ධනය වීමට හේතු විය හැකි බවටද ඇතැම් පාර්ශ්ව අනතුරු ඇඟවූහ.

සහතිකය අනිවාර්ය කළ ගනුදෙනු 8

පවතින නීති රෙගුලාසි ප්‍රකාරව, 2023 දෙසැම්බර් 31 වන විට හෝ ඊට පෙර වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහ 2024 ජනවාරි 01 වැනිදායින් පසු වයස 18 සපිරෙන සියලුම මෙරට නේවාසික පුද්ගලයින් TIN අංකයක් ලබාගැනීම අනිවාර්ය වේ.

විශේෂයෙන්ම 2026 නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන හා ඉඩම් ලියාපදිංචිය, ආදායම් බලපත්‍ර ලබාගැනීම සහ ණයපත් නිකුත් කිරීම ඇතුළු මූල්‍ය හා පරිපාලන ගනුදෙනු අටක් සඳහා TIN සහතිකය අනිවාර්ය කිරීමට රජය ගත් තීරණයත් සමඟ මෙම දැවැන්ත අයදුම්කරුවන්ගේ තදබදය හටගෙන තිබේ.

ඔබේ අදහස