දීර්ඝ කාලයක් තිස්සේ පැවති එකතු කළ අගය මත බදු (VAT) ආරවුලකට අදාළව යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් විසින් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ නිෂ්පාදන වෙනත් සමාගම් විසින් භෞතිකව නිෂ්පාදනය කර තිබුණද, VAT පනත යටතේ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම “නිෂ්පාදකයෙකු” ලෙස සැලකිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
මෙම තීන්දුව සැප්තැම්බර් 14 වැනිදා විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, මෙනකා විජේසුන්දර සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ලබාදී තිබේ.
මෙම බදු ආරවුලට අදාළ වී ඇත්තේ යුනිලීවර් සමඟ ඇති කරගත් ගිවිසුම් යටතේ Polypak Secco Limited විසින් නිෂ්පාදනය කළ Signal දත් බුරුසු සහ R.M. Chemicals Ceylon (Private) Limited විසින් නිෂ්පාදනය කළ Vim ස්කවර් බාර් ය.
එම නිෂ්පාදන පසුව යුනිලීවර් සමාගම වෙත සපයා ඇති අතර, සමාගම විසින් ඒවා වෙළඳපොළට ඉදිරිපත් කර අලෙවි කර තිබේ.
යුනිලීවර් සමාගම තර්ක කර තිබුණේ භාණ්ඩ භෞතිකව නිෂ්පාදනය කළ සමාගම් දෙකම සැබෑ නිෂ්පාදකයන් වන අතර, තම සමාගම සිදුකළේ නිමි භාණ්ඩ මිලදී ගෙන පසුව අලෙවි කිරීම පමණක් බවයි.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ VAT පනත යටතේ සමාගමක් නිෂ්පාදකයෙකු ලෙස සැලකීම සඳහා කර්මාන්ත ශාලාවක් හෝ යන්ත්‍රෝපකරණ හිමිකරගෙන සිටීම, සේවකයන් බඳවාගෙන තිබීම හෝ නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුවම භෞතිකව සම්බන්ධ වීම අනිවාර්ය නොවන බවයි.
අධිකරණය අදාළ ගිවිසුම් විධිවිධාන දීර්ඝව සලකා බලා ඇති අතර, යුනිලීවර් සමාගම විසින් නියම කරන ලද පිරිවිතර සහ තත්ත්ව අවශ්‍යතා අනුව එම නිෂ්පාදන නිෂ්පාදනය කර ඇති බව නිරීක්ෂණය කර තිබේ.
එමෙන්ම නිෂ්පාදන ප්‍රමිතීන්, ඇසුරුම්කරණය සහ වාණිජ අනන්‍යතාව සම්බන්ධයෙන් සැලකිය යුතු අයිතිවාසිකම් යුනිලීවර් සමාගම සතුව පැවති බවද අධිකරණය පෙන්වා දී ඇත.
ඒ අනුව, මෙම ගිවිසුම් විධිවිධාන ස්වාධීන නිෂ්පාදකයෙකුගෙන් නිමි භාණ්ඩ මිලදී ගන්නා සාමාන්‍ය ගැනුම්කරුවෙකු සහ නිෂ්පාදකයෙකු අතර පවතින ගනුදෙනුවකට වඩා සැලකිය යුතු ලෙස වෙනස් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සඳහන් කර ඇත්තේ VAT පනතේ 83 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 3(1)(a) වගන්තියේ අරමුණ සඳහා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම “නිෂ්පාදකයෙකු” ලෙස සැලකිය යුතු බවයි.
ඒ අනුව 2022 නොවැම්බර් මාසයේ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇති අතර, යුනිලීවර් සමාගම ඉදිරිපත් කළ අභියාචනය වියදම්ද සමඟ ප්‍රතික්ෂේප කර තිබේ.
එම පාර්ශ්වයන් අතර විවිධ බදු කාල සීමාවන්ට අදාළව පවතින තවත් අභියාචනා හතරක්ද මෙම තීන්දුව අනුව කටයුතු කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත.


