ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ලබාගන්නා ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණය මුදලක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත තිරසර සංචාරක ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 173.86ක උපදේශන සේවා කොන්ත්‍රාත්තුවක් පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මෙම වැඩසටහන යටතේ දඹුල්ල, සීගිරිය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමටත්, තෝරාගත් සංචාරක ආකර්ෂණීය ස්ථානවල යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරේ.
වැඩසටහන සඳහා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා උපදේශන සමාගමක් තෝරා ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් කැමැත්ත ප්‍රකාශ කැඳවා තිබේ.
ඒ සඳහා උපදේශන සමාගම් 15කින් කැමැත්ත ප්‍රකාශ ඉදිරිපත් කර තිබූ අතර, ඉන් සමාගම් හයකට යෝජනා ඉදිරිපත් කරන ලෙස ආරාධනා කර තිබේ. ඉන් යෝජනා පහක් ඇගයීමෙන් අනතුරුව කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකාවේ M/s Resources Development Consultants (Pvt) Ltd සමාගම සහ ශ්‍රී ලංකාවේ M/s Novel Interdisciplinary Consulting Enterprise (Pvt) Ltd සමාගම එක්ව පිරිනැමීමට නිර්දේශ කර ඇත.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුව රුපියල් මිලියන 173.86ක මුදලකට, එකතු කළ අගය මත බද්ද (VAT) හැර, මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නිර්දේශ කර තිබේ.
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අනුව, කමිටුවේ නිර්දේශය පරිදි කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.


