තෙල් මිල වැඩි කිරීමට මහ බැංකුවෙන් යෝජනා කරයි

පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ නංවා ඉන්ධන ඉල්ලුම පාලනයට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

මෙම දැනුම්දීම කර ඇත්තේ පවතින ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ඉන්ධන ඉල්ලුම අඩු කිරීමේ අරමුණින් බව සඳහන් විය.

දෙසැම්බර් 10 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වුණි.

ඛනිජ තෙල් ගෙන්වීම සඳහා විදේශ විනිමය වැඩි වශයෙන් වැයකිරීම හේතුවෙන් රට තවදුරටත් විශාල අර්බුදයකට මුහුණපාන බව එමගින් පෙන්වාදී ඇති අතර ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින්, ඩීසල් ලීටරයක් රුපියල් 24කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ, කැඳවුම්කරු, ආනන්ද පාලිත මහතා,

“මහ බැංකුවෙන් දැනුම්දීලා තියෙනවා ලු ලිඛිතව මුදල් ඇමතිට ඉන්ධන පරිභෝජනය අඩු කරන්න පෙට්‍රල් ලීටරයක් රු 35කින්, ඩීසල් ලීටරයක් රු 24කිනුත්, භූමිතෙල් ලීටරයක් රු 11කින් වැඩිකරන්න. මං අහන්න කැමතියි මේ මහ බැංකුවේ නිලධාරීන්ගෙන් මේගොල්ලෝ ලංකාවේ ද ඉන්නේ. දැන් ආණ්ඩුවට කියන්න බෑ ඇමතිවරයාට ඇවිත් කියන්න බෑ දැන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩියි කියලා. දැන් ලෝක වෙළෙඳපොළේ බැරලයක් ඩොලර් 15කින් අඩුයි. දැන් මොකද්ද කියන්නේ, ඉන්ධන පරිභෝජනය සීමා කරන්න ඩොලර් ආරක්ෂා කරන්න රුපියල්වලින් වැඩිකරන්න කියලා.”

මෙලෙස මෙරට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට යෝජනා වී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් පහළ බසිමින් පවතින වාතාවරණයක බව වෙළෙඳපොළ දත්ත නිරීක්ෂණය කළ විට පෙනීයයි.

ඉකුත් ඔක්තෝබර් 20 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 85.82 ක්ව පැවති අතර අද වන විට එම මිල ඩොලර් 71.24 දක්වා සියයට 17කින් පහළ බැස තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව පළවන මෙම වාර්තා සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ තමන් එම පුවත තහවුරු නොකරන බවත් එසේම එය ප්‍රතික්ෂේප නොකරන බවත් ය.

මතුව ඇති මෙම අර්බුදයත් සමඟ මෙරට ඉන්ධන සංචිතය ප්‍රමාණවත්ව ඇත්තේ තවත් දින 10 ක කාලයකට පමණක් බවට පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් “අද දෙරණ” බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසීය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ලබන වසරේ ජනවාරි 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට තෙල් තොග ලැබීම සහතික වී ඇති බවය.

ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවක් මතුව ඇතත් සෑම සතියකම ඉන්ධන නෞකා හතරක් හෝ පහක් මෙරටට පැමිණීමට නියමිත බැවින් ඉන්ධන හිඟයක් පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නැතැයිද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *