දීර්ඝ කාලයක් පවතින වියළි කාලගුණය හේතුවෙන් ස්වභාවික ජල මූලාශ්‍ර සිඳී යාමත් සමඟ යාපනය ඩෙල්ෆ්ට් දූපතේ පෝනියන් සඳහා පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නාවික හමුදාව ආරම්භ කර තිබේ.
උතුරු නාවික විධානය විසින් අගෝස්තු 21 වැනිදා මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ නෞකාව මගින් දූපතේ බටහිර ප්‍රදේශයේ වෙල්ලෙයි ප්‍රදේශයේ සිටින පෝනියන් සඳහා ජලය ලබාදීම සිදුකරයි.
ඩෙල්ෆ්ට් දූපතේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් ජාතික ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව සඳහන් කරයි.
යාපනය දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වන සතුන් සඳහාද ජල හිඟයක් ඇති වී තිබේ. දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර ප්‍රසිද්ධ ආකර්ෂණයක් වන ඩෙල්ෆ්ට් දූපතේ පෝනියන්ටද එම තත්ත්වය බලපා ඇත.
මේ අතර, දූපත් ආශ්‍රිතව ස්ථාපිත කර ඇති ප්‍රතිලෝම ආස්‍රැතිකරණ (RO) ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට පානීය ජලය ලබාදීමේ වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව පවසයි.


