ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 34කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින එම සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ශාන් ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.
චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලන්නේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කර ඇත.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කපිල ලියනගම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම ව්‍යාපෘතිය සඳහා අයවිය යුතු රුපියල් 33,944,741.60 මුදල ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ පදනම විසින් 2017 වසර ජූලි මස 13 වනදා වන විට ගෙවා අවසන් කර ඇති බවට එම සංස්ථාව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි පෙන්වා දුන්නේය.
එම නඩුවට පාදක වන මුදල ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ පදනම විසින් ගෙවා අවසන් කර ඇති බව එම සංස්ථාව විසින්ම නීතිපතිවරයා දැනුවත් කර ඇති හෙයින් එම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 වගන්තිය යටතේ තවදුරටත් නඩුව පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට පැවසීය.
මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ අනුව එම විත්තිකරුවන් නිදහස් කරන ලෙසය.
ඒ අනුව විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කළ අතර අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍ර මුදාහරින ලෙස නියෝග කළේය.
එම නඩුවේ විත්තිකරුවකු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ද නම් කර තිබූ අතර ඔහු ජනාධිපතිවරයා විසින් තේරී පත්වීමෙන් පසුව ඔහුට එරෙහි නඩු කටයුත්ත අවසන් කිරීමට අධිකරණය 2019 වසරේ නියම කර තිබුණි.